Sunday 21 July 2019

සයන්ස් ෆික්ෂන් "Sci Fi" හෙවත් විද්‍යා ප්‍රබන්ධ ගණයේ ලා සැලකෙන චිත්‍රපට, නවකතා, කෙටිකතා හෝ එවැනි නිර්මාණ ඔස්සේ දලුලන සිතුවිලි මානව සමාජය විශාල දුරකට ගෙන ගොස් තියෙනව. අමුතුම විසිතුරු මනෝ ලොවකට අපව රැගෙන යනව. ඒ ෆැන්ටසිය හෙවත් මනස්සෘෂ්ටිය විසින් බොහෝ දේ හිතන්න කියා දෙනව. මනුෂ්‍යත්වයේ භාවමය සිතුවිලි හැඟීම් සියුම්ව හසුරුවමින් විද්‍යා හා තාක්ෂණ තර්කනය පදනම් කරගෙන එය සත්‍ය වශයෙන්ම සිදුවන්නක් ලෙසට දනවනව. ඕනෑම සාර්තක කලා නිර්මාණයක් වූකලි එය සත්‍ය වශයෙන්ම සිදුවන සිද්ධියක් බවට ප්‍රේක්ෂකයින් හිතාමතාම මොහොතකට තමන්ව රවටා ගෙන ඒ තුළ ජීවත්වනව. ඒ ගුණය ඇති කිරීමට ඒ නිර්මාණයේ සිද්ධි ගලායාම තාර්කික ලෙසත් යම් තාක්ෂණික විද්‍යානුකූල පදනමක් මත සකස් විය යුතුමයි. එහෙත් "Sci Fi" නිර්මාණ වල ඒ ගුණයට අමතරව හුදු තාක්ෂණික විද්‍යනුකූල සංදර්භයක් තුලටම ගොස් ඒ තියරිය සත්‍යකරවා ප්‍රේක්ෂකයා ඒතුල ජීවත් කරවනව.
පහුගිය ටිකේ එවැනි "Sci Fi" චිත්‍රපට කීපයක් බැලුව ෆෙන්ස්. එකක් බලපුවහම තව එකක් බලන්න හිතෙන තරම් ෆැන්ටසියක ගාල් වෙනව. භාව, අනුභාව හා ව්‍යභිචාරිභාව යනුවෙන් රස නිශ්පත්තිය ගැන පෙරදිග ඉගැන්වීමේ සඳහන් ආතල් එක නියමෙටම එනව. සයන්ස් ෆික්ෂන් හොරර් යන ඒව බැලුවම නින්දගියාමත් ඒ චිත්‍රපට වල යම් යම් සිදුවීම් විකාර විදියට පෙනිල මාර වාතයක් වෙන තරම්. ඒ කියන්නෙ ඒ නිර්මාණ ගානටම හිත පතුලටම කිඳා බහිනව.
මම බලපු මේ සමහර
චිත්‍රපට හුඟක් පැරණියි. සමහර ඒව ටිකක් අලුත්. ඒත් ඒවයෙ තාක්ෂණික විද්‍යනුකූල ගෙතුම අනුව තාම නැවුම්..
1. ස්ටීවන් ස්පිල්බර්ග්ගෙ Close Encounters of the Third Kind. ඒක 1977 නිපදවුවත් අදටත් ඒක බලන්න හිතෙනව. හදුනානොගත් ආකාස වස්තු හෙවත් පියාඹන පීරිසි (UFO) ගැන ආන්දෝලනාත්මක චිත්‍රපටයක්.
2.Splice ස්පලයිස් හෙවත් පිරිද්දුම (2009 කැනඩා-ප්‍රංශ චිත්‍රපටයක්- අධ්‍යක්ෂණය වින්සෙන්සෝ නටලි- Sci Fi-Horrer)- ජාන ඉංජිනේරු තාක්ෂණය යොදාගෙන තරුණ විද්‍යාඥ යුවලක් විවිධ සත්ව සහ ශාක ජාන සමඟ හොරෙන් මානව ජානත් කලවම්කරල අමුතු ජාතියෙ ජීවියෙක් හදල සිද්දවෙන හුටස්පරය මේ කතාවෙ තියනව. අදරය කරුණාව මනුෂ්‍යත්වය අවධානම අත්වැරදීම් නිර්දය ගතිය ප්‍රචණ්ඩකාරී සත්තව ස්වරූපය ආදී බොහෝ දෑ ගැඹුරටම දැනෙනව. ( මට තාම හීනෙන් පේනව පේනව වගේ..)
3. Stargate (1994- අධ්‍යක්ෂණය රෝලන්ඩ් එමරිච්-Sci Fi-Adventure )- ඊජිප්තුවෙ පුරාණ පිරමිඩයක වූ තාරකා දොරටුවක් සොයාගෙන තරුණ විද්‍යාඥයෙකු සහ ඇමරිකානු විශේෂ භටපිරිසක් සමඟ වෙනත් මානයක වූ මානව ලෝකයකට ගොස් සිදුවන මාර කතාවක් මේකෙ තියෙනව.
4.Species ( 1995 දි මෙහි පළමු චිත්‍රපටයද, 1998, 2004 සහ 2007 වසර වල මෙය චිත්‍රපටි සීරීස් එකක් විදියට එනව. Sci Fi-Horrer- අධ්‍යක්ෂකවරු 4දෙනෙක් යටතෙ )- විද්‍යාඥයින් විශ්වයේ දියුණු ජීවීන් සොයා යැවූ එරිසිබෝ (Arecibo) පණිවුඩ අනුව මිතුරු වෙසින් එක්තරා ජීවී විශේෂයක් පෘතුවි වද්‍යාඥයින්ට සම්බන්ධවෙනව. ඔවුන් එවූ ඩීඑන්ඒ සාම්පලය මගින් මානව ජාන එකට පුරුද්දල ජීවියෙක් හදනව. ඇය නමින් සිල්. මාස තුනේදි වයස අවු 13ක තරමට වැඩෙනව. අන්තිමේ සිල් දෙපිටින් ගොසින් සිල් දුසිල් වෙලා අතිශය ප්‍රචණ්ඩකාරි සහ බියකරු ජීවියකු ලෙස හැසිරෙනව. ඇයව සයනයිඩ් ගෑස් යොදා මරාදමන්න හැදුවත් ඇය පැනයනව. අනෙ අම්බෝ ඊට පස්සෙ වෙන දේවල්..?
‍මේව බලපු මිතුරු මිතුරියො ගොඩක් ඇති. ඒ අයටත් මේව දැනිල ඇති කියල හිතනව.



Saturday 3 June 2017

අනාවැකිකාරයින් ඉහමුදුණින් පිළිගන්නා සමාජයක Aruna Samarathunga අරුණ සමරතුංගයන්ව තඹසතේකට මායිං නොරන්නේ මන්ද?

ඔහු ගංවතුර ව්‍යසනය ගැන කියන්නේ හරියටම මාස 2කට කලින් තිතට..

අනුර සමරතුංග යනු සබරගමුවේ වාරිමාර්ග ඉංජිනේරුවරයාය. ඔහුද දක්ෂ අනාවැකි කරුවෙකි. එහෙත් වෙනස ඇත්තේ ඔහු මේ රටේ පිළිගත් ජ්‍යොතිශ හෝ දේවබලෙන් සාත්තර කියන ගෝතයකු නොවන බැවිනි. ඔහු විද්‍යා අධ්‍යාපනයෙන් ඉහළ අධ්‍යපනයක් ලැබූ ප්‍රාමාණික උගතෙකි. ඉංජිනේරුවෙකි. ඔහු අනාවැකි කියන්නේ විද්‍යාත්මක ක්‍රමයටය. ඒවා හුදු සාත්තර නොවේය.

එහෙත් එවැනි උගතුන් බුද්ධිමතුන් අප රටේ අදාළ ආයතන තුළ සිටියත්, ඔවුන් සිය දැනුමට හසුවන ව්‍යසන පිළිබඳව කල් ඇතිව දැනුම් දුන්නත් දේසපාලකයන් ආමවාතයකටවත් ඒවා මායිම් නොකරති. ජනමාධ්‍යටද ඒවා 3 හො 4 වැනි මට්ටමටත් වඩා පහළ පුංචි නිව්ස් කෑලිය. එහෙත් හොරගෙඩි සාත්තර කරුවන් පෙන්ෂුයිකරුවන් උදේ හවස වන්දනා කරන දේශපාලකයින්, ජනමාධ්‍ය ඇතුලු මේ සමාජ හරස්කඩ මගින් නොදියුණු ජනසමාජයක් ගැනමිස උගත් දියුණු සමාජයක පිළිඹිඹුවක් මතු නොකරයි.

බලන්න. මේ විද්‍යාඥයා, ඉංජිනේරුවරයා කල් ඇතිව ඇමතියන් ඇතුලු දේශපාලන බලධාරීන්ට ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය ගැන විද්‍යනුකූළව පුරොකතනය කරද්දී, ඇමතිවරු කොහොල්ලෑ කෑ රිලව් මෙන් මූණ පුලුටු කරන් ඉන්නා ආකාරය. ඉංජිනේරුවරයා රජයෙන් පඩිගන්නා නිලධාරියකු ලෙස සිය යුතුකම වගකීම ඉටුකර තිබේ. එහෙත් ඉන් එහාට අදාළ රාජ්‍ය සැලසුම් කරා යාම පිණිස වූ දේශපාලන යාන්ත්‍රණයට බීරි අලින්ට තෝම් බ්‍රෝන් ගසනවා වැනි කාරණාවක් වී ඇති බව සක්සුදක් සේ පැහැදිලිය.


ජනමාධ්‍යද මේ රටේ සංවේදනයක් ඇති මිනිසුන් ද මෙවැනි විද්වතුන්ගේ විද්‍යනුකූල ප්‍රවේශ අනුව මේ රටේ අනාගතය ගොඩනගා ගැනීමට අතිශය මිත්‍යා දෘෂ්ටික පෙන්ෂුයි හා සාත්තරකරුවන්ගෙන් මිදීමට මොළය පෑදේවා!

පහත ලින්කුවෙන් අදාල පුවත ඔබට නැරඹිය හැකිය.


෴සමනොළ෴


http://news24.lk/gossip/3747/aruna-samarathunga-Division-Irrigation-Engineer-Ratnapura

Friday 26 May 2017

පිනේ අඩු නැති- අනේ පිඬු සිටු

පිනේ අඩු නැති- අනේ පිඬු සිටු...


අනේ පිඬු සිටුතුමාණෝ
අපිස්බව මතු කලාණෝ
සිතම හිස්කර බුදුන් හැබැහින් 
දුටුව නැණවතාණෝ
දහස් සුවහස් දනන් තුඩ තුඩ
පින් සිත්මඇති කලාණෝ

පුරා කහවනු එබිම අතුරා
ජේතවන පින් බිමාණෝ
පුදා බර හිස් කලාණෝ
සියලු රැස් කළ ධනය දන් දී
නිවා සිත සැන සුවාණෝ
පිනේ අඩු නැති
අනේ පිඬු සිටු තුමාණෝ
ගසා මලු පොදි සිතම අවුරා
හිඳින සිත් කැළඹුවාණෝ
යථා බව මතු කලාණෝ
තුටින් දන් දී දුගී වූවත්
සිතින් මහ පෝසතාණෝ
පිනේ අඩු නැති
අනේ පිඬු සිටු තුමාණෝ

෴සමනොළ විජයරත්න෴
14/05/2014

Wednesday 24 May 2017

ඒ ඒ බනිස්වලට කුරාණය බයිබලය හා ත්‍රිපිටකය

ඒ ඒ බනිස්වලට කුරාණය බයිබලය හා ත්‍රිපිටකය?

බයිබලයේ පරණ තෙස්තමේන්තුව හා කුරාණය සමාන බව සත්‍යයක්. සිය දෙවියන් විශ්වාස නොකරන්නා විනාශකරන මෙන් එහි සදහන්වන බව දැකිය හැකියි. එහෙත් දෙවිවරු ඔහොම මීනිමරණ උපදෙස් මෝඩ මිනිසුන්ට දෙන්නේ නැත. කාලෙන් කාලෙට ලොව ඉපදුනු තමන් දෙයියන්ගේ සමීපතමයකුයැයි කියාගන්නා පූජක පිරිස් අතින් සිය වාසිය තකා ඔය කියන්නා වූ ශුද්ධ ලියවිලි සැකසෙනව. මොනාවුනත් වත්මන වන විට බයිබලය ඒ ආගමික ප්‍රජාව විසින් ක්‍රමිකව විද්‍යනුකූලව සහ මනුෂත්වයට ඔබින විදියට යම් යම් ආකාරයට සංස්කරණය කර තිබෙනව. ඒ අනුව ඔවුන් දෙවියන් යන්න අතිශය උත්තරීතර ලෙස අර්තගන්වා තිබෙන බව පෙනෙනව. යමෙක් ඔබගේ වම් කම්මුලට ගැසුවොත් අනෙක් කම්මුලද අල්ලන මෙන් අතිශය සාමකාමී මානුෂවාදී අහිංසක දෙසුමක් ඉන් ජනිත කෙරෙනව. එය අතිශයින්ම මානව ප්‍රගමනයට බලපානව. එහෙත් කුරාණය ම්ලේච්ඡ පැරණි පූජකයින් කියපු යම් කූඨ පරමාර්ථ දේවත්වයෙහි ලා සලකා ගෙන දියුණු ශිෂ්ටාචාරය තිරිසන් වනචාරී යුගයට ගෙනයන්න හදනව. මොලේ තියන මුස්ලිම් ප්‍රජාව දෙයියන්ට තියන බොරු හුඹස් බිය අයින්කරන් රැඩිකල් විදියට හිතන්න ඕනි.
අනික තමයි බුද්ධාගම. බුද්ධ දර්ශනයෙ කොතැනකවත් කියල නැහැ ආගම වෙනුවෙන් හරි මොනම දේකට හරි අනෙකාව මරා දාන්න තියා අඩුතරමේ හිංසාවක්වත් කරන්න. සිතෙහි වූ අපිරිසිදු රාග ද්වේශ මෝහ සිතුවිලි ක්ෂය කරමින් සීල සමාධි ප්‍රඥා යන මනුෂ්‍යත්වය ද අභිබවා යන ශ්‍රේෂ්ට සිතුවිලි මනුෂ්‍යකු තුළ ප්‍රගුණ කරවන දහමක්. ඒත් කරුමය වනාහී මෙම ධර්ම රැකීම පිණිස කටයුතු කරන සමහර වහන්සේලා කුරාණය හෝ පරණ තෙස්තමේන්තුව අදහනවදො කියලත් හිතෙනව. ඒත් ඒ අය කියන්නෙ අපි අපේ ධර්මෙ මිනී මරණ හිංසාකරන ඒව නැතත් අරුන් අර විදියට එනව නම් ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි සප්ලයි කරල පෙන්නන්නත් අපිට පුලුවන්ය කියල. බලපුවහම ඒකෙත් තර්කයක් තියනව. ඒත් ඒක බුද්ධ දර්ශනයට නම් කිසි ලෙසකින්වත් ගලපන්න බැහැ. කරුණාව මෛත්‍රිය තුළින් තමන් නැසීමට එන සතුරා තුළ වුව ද ප්‍රඥාව අවධිකර ඔවුන් තුළ මනුෂ්‍යත්වය නගාහිටුවන්න කටයුතු කිරීම හැර මීට ගැලපෙන වෙන විසඳුමක් නම් නොපෙනේ.
෴සමනොළ෴

Sunday 21 May 2017

සිරි ලංකාව සිරියාවක් නොවීමට නම්

ලංකාවේ අහිංසක අපේ මල්ලියා (තම්බියා) මුස්ලිම් අන්තවාදයේ ගොදුරක්වීමට තල්ලු නොකොට ගලවා ගැනීම සිංහල දෙමළ සහෝදරයින්ගේ සහොදරකමය


ලංකාවේ තම්බියා අරාබියේම ප්‍රඩක්ට් එකක් නොවේය. උන්ගේ ඇති ජාන වලින් වැඩි කොටස සිංහල දෙමල ජනතාවගෙන් උපන් මාතාවන් හරහා ආ ජානය. ඒ නිසා සිංහල හා දෙමළ ජනවර්ග දෙකෙහිම ගතිලක්ෂණ කලවම් වූ කණ්ඩායම මේ අයය. මුන් අපි දෙගොල්ලන්ගෙම නෑයෝය. ගුණ යහපත් සහෝදර මුස්ලිම් මිනිස්සු ඕනෑ තරම් සිටිති. එහෙත් ලෝකයේ විවිධ පැතිවල අතිශය ම්ලේච්ඡ ආකාරයට ඉස්ලාමය පතුරුවා ලමින් අන් මිනිසුන්ගේ හා සෙසු ජනවර්ග මරාදමමින් කරන කුජීත වැඩ පිළිවෙල හරහා ලංකාවේ තම්බියා ද උගේ සහොදර සෙසු ජනවර්ගද බිලි දෙන්නට ඉඩ නොතැබිය යුතුය.

මුස්ලිම් අන්තවාදයට එරෙහි මුස්ලිම් ප්‍රජාව රැකගමු

ලංකාවේ යහපත් සහෝදර සාමකාමී මුස්ලිම් ජනයාට ඔවුන්ගේම යම් අන්තවාදී කොටසක් සිදුකරන මෙම මිලේච්ඡ ව්‍යාප්තවාදය ගැටලුවක් බව නොරහසකි. කරුමය වනාහී ඒ හැම එකාම එකම ගොඩේ දා සලකන්නට යාමෙන් මුස්ලිම් ත්‍රස්තවාදය විසින් ලංකාවද බිලිගන්නට වැඩි දවසක් නොයනු ඇතිය. තැන්පත් මුස්ලිම් මිනිසුන්ද සිය අන්තවාදීන්ගේ කුරිරු කම ගැන දන්නා නිසා මුස්ලිම් ආගමිකයන් අතුරෙන් මුස්ලිම් අන්තවාදයට එරෙහිව සැලකිය යුතු විරෝධයක් මතු කරන්නේ නැතිය. ඔවුන්ට ශක්තිය දිය හැක්කේ සහොදරත්වයෙන්මය. එහෙත් වැඩේ වල් වූ පසුව සිරිලංකාව ද සිරියාවක් වන්නට හැකිය. ලංකාවේ තියෙන ප්‍රශ්න මදිවාට ඊලගට සෙට් වීමට ඇති තවත් ගේමක් වීමේ අවදානම අවතක්සේරු කළ යුතු ද නැතිය.

බෞද්ධ හිමිවරුද රැකගමු

මේ සම්බන්ධයෙන් බෞද්ධ භික්ෂූන් දක්වන විරෝධතා නැවතවරක් මුස්ලිම් අන්තවාදයේ අරමුණු තෘප්ත කරන්නක් බවට පත්වනු පෙනේ. මිනිසුන් තමන් කැමති ආගමක් අදහා ගත්තාට කිසිදු ගැටලුවක් නැතිය. එහෙත් සෙසු ජනවර්ග අභිබවා සිය වර්ගයා බෝකර මින් ගේමක් ගැසීමට පිඹුරුපත් හැදීම අවලං වැඩකිය. මේවායේ කෙළවර අන්ත ජනවාර්ගික ආගම්වාදී ගැටලුවකට මුලය. ශ්‍රී ලංකාව තව වසර ගණනාවකට පල්ලමකට වැටීමකිය.

අන්තවාදය පාලනය කිරීමට ජනාධිපති කාර්යසාධක බලකායක් හරහා යාන්ත්‍රණයක්

මෙවැනි අන්තවාදී කටයුතු පාලනය කර නවතා දැමීම පිණිස රජය මැදිහත්වීම අත්‍යාවශ්‍යය. මේ සඳහා ජනාධිපති කාර්යසාධක බලකායකින් අරඹා ඉදිරියට යායුතු පරිපාලනමය යාන්ත්‍රණයක් ඇති කිරීම වහ වහා කළ යුත්තේය. එහිදී,
1.ආරක්ෂක බුද්ධි අංශ මෙන්ම නීති අංශද සවිමත් කළ යුතුය. එමගින් .අයිඑස් එස් වැනි ගහලයන් බිහිවීම වලකා ගන්නට ජනතාවගේ සහය මත රජයේ යම් වැඩපිළිවෙලක් සැකසිය යුතුය.
2. ජාත්‍යන්තර මුස්ලිම් ත්‍රස්තවාදයට එරෙහි ලෝක බලවතුන්ගේ වැඩ සටහන් සමග අත්වැල් බැදගැනීම.
3.රටේ ඇති මනුෂ්‍යත්වයට නොහොඹිනා ආගමික නීති (විශේෂයෙන්ම ෂරියා නීතිය) වැනිදෑ අහෝසි කිරීමත්, මුස්ලිම් ප්‍රජාව කාන්තාව කෙරෙහි දක්වන පහත් සැලකිල්ල පවා තහනම් කරදැමීම හා ඒවා නීතිප්‍රකාරව සිදුවේද යන්නත් යාමනය කිරීමේ වැඩකටයුත්තක් ඇතිකළ යුතුය.
4.මෙහෙිදී මානව ගුණ දම් අගයන යහපත් මුස්ලිම් ප්‍රජාව ශක්තිමත් කර සිය ප්‍රජාවේ මානවවාදී නොවූ දුර්මත දුරු කරවීමේ වැඩ පිළිවෙලක් ද ක්‍රියාත්මක කළ යුතුය. ඒ සදහා සිංහල දුවිඩ සහෝදරත්වය තුළ ඔවුන් රදවා ගැනීම.
5.එසේම මුස්ලිම් හා අන් ජාතික අන්තර් විවාහ වලදී අනිවාර්යෙන් අන්වර්ගයා මුස්ලිම් විය යුතුය යන මානව විරෝධී මුස්ලිම් ආගමික නීතිය තහනම් කළ යුතුය. මක්නිසාද යත් මේ වනවිට ලංකාවේ මුස්ලිම් ප්‍රජාවේ මව්වරු 90%ක්ම ලාංකික සිංහල දෙමළ බෞද්ධ හින්දු කතෝලික යන සෙස්සන්ගෙන් ගෙන මුස්ලිම් කරගත්තෝ වෙතිය. එසේවීම වැලකීම හෙවත් ලිහිල් කිරීම අනුව ලංකාවේ තම්බියාද ආගමික අන්තවාදී ග්‍රහණයෙන් මුදා ගැන්මට හැකිවනු ඇත.ඌ අපේම මල්ලියෙක් බවට තහවුරු කෙරෙනු ඇත..

෴සමනොළ෴

Saturday 20 May 2017

වාර්ගික ගැටුම් ඔස්තාර්ලා හමුවිමි

වාර්ගික ගැටුම් ඔස්තාර්ලා හමුවිමි

ලොව වැඩියෙන්ම ජනවාර්ගික ගැටුම් ඇති රටවල සිට ඕස්ට්‍රේලියාවට පැමිණි මිනිසුන්ගේ එකමුතුවකට සහභාගිවන්නට අවස්තාව ලැබුණ. ලංකාව මියන්මාරය ඇතුලු ආසියානු කලාපයත්, මැදපෙරදිග, අප්‍රිිකානු හා ලතින් ඇමරිකානු කලාප වලත් ඇති එවැනි රටවල මිනිසුන්ගේ අදහස් හැගීම් දැනගැනීමට හැකිවුණා. කිසිදු වෙනසක් නැත. ඔවුන් හැමම තමන්ගේ ජාතිය හා ආගම තමයි හොදම එකයැයි හිතන බවත් රටේ දේශපාලකයෝද තමන්ගේ සුඛවිහරණය ගැනම තකා ජනතා දේපල මංකොල්ලකාගන්නා බවත් හැම තැනින්ම කියැවිණ.
එසේම ඔවුන්ගේ රටවල බොහෝ අය ද ප්‍රශ්නයේ මතුපිට ඇවිලී ඇති ස්වරූපය මිස ඊට මුල්වූ හේතු ඵල සොයා විසදුම් දෙන ආකාරය ගැන නොසිතන බව පොදු ලක්ෂණයක්. හේතුඵල ධර්මය හෙවත් හේතුයුක්ත සොයා විසදුම යෝජනාකිරීම නොදකියි. එසේ කීවිට මේ ප්‍රශ්නය නිමා කරන්නට හේතු වූ කාරණා ඉවත් කරනු පිණිස සෙසු සියලු ජාතීන් මරා ඉවරයක් කළ යුතුය යන විසඳුම තමා ඔවුනට ඇති ඒකායන විසදුම ලෙස එන්නෙ. එතනින් එහාට කතාව හරිම අමනුස්සය.
ඒක ඉතිහාසය පුරා අත්හදා බැලූ එක්තරා විසදුමකි. එමගින්එ වඩා ශක්තිමත් යුධහැකියාව ඇති ජනකොට්ඨාසය දිනනව. ඒත් එහි ප්‍රතිඵලය ස්ථිරසාර නැහැ. අතිශය තාවකාලික මර්ධනයක්. වෛරය තෙරපා හදවත්වල දිගුකාලයක් පවතින සේ තැන්පත්කර තැබීමක්. සිදුවන්නේ ටික කලක් අල්ලන් හිටියට ආයෙම ප්‍රශ්නෙ මතුවන එක. එහෙත් මෙය රටක් විදියට ජාතියක් විදියට මීට වඩා ගැඹුරින් සිතා විසදුම් දීමට හැමම ඉදිරිපත් විය යුතු බව පෙනෙනව. අන්තවාදය විසදන්න රටේ මූලික නීතිය හා එය දැඩිව ක්‍රියාකරවීමත්. සැවොම එක එක පිලේ සිට මරාගෙන මැරෙන්න ටෝක ඊෂූ කරමින් නොඉද සහෝදරත්වය වඩා රටේ සමස්ත දියුණුව ගැන පොදු ඉලක්කයකට එකගතාවකට ජාතීන් තුන එකමුතු කිරීමයි වැදගත් වන්නෙ. ජනතාවට වඩා විශ්වසනීයත්වයක් ඇති නීතිය සාධාරණය අකුරටම රකින ශක්තිමත් දේශපාලනයකින් මිස මේ රටේ එය කළ නොහැකිවනව.
එහෙම නැත්නම් ආයෙ කවුරු බලේට ආවත් ඉතිහාසය පුරා වගේම ජනවාර්ගික කෝලාහල වලින් මේ රට තවත් සියවස් ගාණක් පවතීවි. හැමෝම තමන්ගෙ ජාතිය උතුම්ම බව කියමින් සිටීවි. අපිට අරුන් ගහයිද? අපේ දේ වනසයිද? ඉදිරියෙ උන්ට මේක රැකල දෙන්ඩ බැරිවෙයිද? යන නොවිසිදෙන සිතුවිලි සමග ලංකාවෙ වගේම මේ තත්ව ඇති අප්‍රිකානු නොදියුණු සමාජවල පවා මිනිසුන් ඉපදුන දාසිට මැරෙනකම්ම හිතමින් වියවුලෙන් මැරිල යනව. එහෙම ජනවර්ග හෝ ඒවායේ පීඩනයක් නැති දියුණු සංස්කෘතියකට ආහම එහි ඇති නිදහස් සාමකාමී බලපෑම මානව ගුණය මෙන්ම මිනිසකු ලෙස නිදහස්ව හිතන්නට ඇති හැකියාව මනාව පිබිදෙනවා
෴සමනොළ෴

Thursday 18 May 2017

ඉල්ලං කා

ඉල්ලං කා

ඉඳහිට දඩයමක් කර ලත් ....................ඇසිල්ලේ
පූසා සිටී කරබාගෙන ..........................නිදැල්ලේ
කවුඩූ පණික්කී හිඳ අඹ ........................රිකිල්ලේ
කිරිලිය ඉදිරියේ දස්කම් .......................රැඟිල්ලේ


සොඳුරිය බලනු මැන මගෙ වැඩ නැත .......බොරුව
බළලා මෝඩයෙකි මම වෙමි වැඩ ..............කරුව
මොකටද ඉතින් තව දුරටත් කුරු ................කුරුව
කොටලා සැනින් පියඹිමි පෙන්නමි...............තරුව

කිරිලිගෙ කිචි බිචිය කවුඩට හරි ................ජොලිය
ජින්තුව අරන් පියඹා ගියෙ නොව ................මැලිය
එල්ලය තබා පූසගෙ තක්කලි ......................සුලිය
කැරකිල ඇවිත් කෙටුවයි අරඹා ...................වළිය

සැනකින් පහර ලද අණ්ඩා කෝෂ ...................යට
පූසා උඩ ගියා පැන්නා මළ ...........................ඌට
එහෙ මෙහෙ ඇඹරිලා හිරි ඇර ගෙන ..............ගාට
ආයෙත් ඇල වුණා කහටක් නැති .................ලෙසට

කඩුඩිගෙ මද හාස කිචි බිචි මැද .....................ජයට
කවුඩා තවත් වීරත්වය ගෙන ........................කරට
ඤාවුත් කියා කෑගසමින් ..............................පූසාට
විදුලිය වගේ කොටලා යයි ......................කිණ්ඩියට

මොන මගුලක්ද මේකා මට ....................කරන්නේ
පූසා නිවී සැනෙසිල්ලේ .........................හිතන්නේ
ඇසිපිය හෙළන පමණින් මට ...............කොටන්නේ
ඤාවුත් කියා කෝචොක් එක ....................දමන්නේ

කවුඩට හති නමුත් කිරිලිගෙ කිචි ...................බිචිය
ගෙනෙනා සතුට නිම්හිම් නැති විය ................රුචිය
ලැබගෙන ලකුණු හා ඇයගේ ..................අභිරුචිය
රති සුව විඳින තුරු කවුඩට හං ......................කිචිය

තව එක්වරක් පියඹා ගොස් ...................කොටාලා
පූසව පෙලා එන්නට ඌ ...........................සිතාලා
ඇල්ලුව අඩව්වේ ලුහු තැන් ...................හොයාලා
පූසා පැනපි කුරුමාණම් ...........................විදිල්ලා

බලලුගෙ තියුණු රදනක දත් අතර ...............මැද
කවුඩූ පණික්කී හෙලුවයි හුස්ම .................පොද
නොකරම් ඕව කොච්චර මම ...................කීවාද
කියමින් කෙවිලි හඩමින් ගියෙ වනේ ...........වැද
෴සමනොළ෴

සයන්ස් ෆික්ෂන් "Sci Fi" හෙවත් විද්‍යා ප්‍රබන්ධ ගණයේ ලා සැලකෙන චිත්‍රපට, නවකතා, කෙටිකතා හෝ එවැනි නිර්මාණ ඔස්සේ දලුලන සිතුවිලි මානව...