Thursday, 18 May 2017

උඩින් ඔපයට

උඩින් ඔපයට තියන ........මතුපිට
දුරට සුන්දර වගේ .........පෙනුනට
හඳට ආවොත් තමයි ......නියමෙට
පෙනෙන්නේ ආවාට .........යහමට

එහෙත් සඳ ගැන හිතේ .....හැගුමට
සාපේක්ෂව දැනෙන ...........දැක්මට
අනුව මිස නැත පෙනෙන්නේ ...මට
සඳේ ඇති ආවාට..............රුවිතෙට

෴සමනොළ෴

බවුන් වැඩීම වූ කලි යානාවක් ගමනාන්තය තෙක් ධාවනය කරවීමක් වැනිය

බවුන් වැඩීම වූ කලි යානාවක් ගමනාන්තය තෙක් ධාවනය කරවීමක් වැනිය

මෙහි දක්වා ඇත්තේ ගුවන් යානයක නියමු කුටියේ පින්තූරයකි. මෙහි බැලූ බැල්මට හැමතැනින්ම එක එක ජාතියේ පාඨාංක සටහන් වන මීටර් ගොන්නක් පෙනේ. ඒ නිසා මෙය පැදවීම වූ කලි අතිශය දුෂ්කර බව සිතෙනු ඇත. එහෙත් මෙකී විවිධ පාඨාංක සටහන් මීටර වනාහී අදාල යානයේ සෞඛ්‍ය තත්වය හා එය අවට පාරිසරික තත්ත්ව වලට අනුව උපද්‍රවයකින් තොරව ගමනාන්තයට පදවා යාමට උපකාරක වන බව පැහැදිලිය. ඒ අනුව යමෙක් මෙකී පාඨාංක කියවීමටත් ඒ අනුව රථය ධාවනය කිරීමටත් පුරුදු පුහුණු වූයේ නම් තමන්ගේ විශ්වාසය මත අදාළ පාඨාංක කියවමින් ගමන චූන් එකේ ගිය හැකිය.

භාවනාවද මීටර බලා පාඨාංක කියවා ඩ්‍රයිව් කිරීමකිය

භාවනාව ද එවැනිම වැඩකි. බොහෝ අය එයට අතිශය බිය වෙති. සමහරු ඊට බිය කරවති. එය නම් පව් වැඩකි. යමක් ගැන නිවීහැනහිල්ලේ කල්පනා කර පුරුදු මොළය ඇත්තාට භාවනාවේ යාන්ත්‍රණය අල්ලා ගැනීම සිම්පල්ය. එසේම වාහන පදවා හුරු අය වාහනයේ හීට් මීටර, ස්පිඩෝ මීටර, ඉන්ධන මීටර ආදියේ පාඨාංක ගැන යන්තමින් හෝ දන්නේ නම් ද බේක් ගැසීම හෝන් ගැසීම, සුක්කානම හුරැබුහුටිව හසුරවා පාගා නිරුපද්‍රිතව ගෙනයාමට කුසලතාවක් ඇත්තේ නම් භාවනාව ද එවැනි කුසලතාවක් බව සිතුවාට කිසිදු අවුලක් නැතිය.

භාවනාව එක්සයිස් එකකි.

භාවනාව යනු හොඳටම බුද්ධිමත් අධික ඥානවන්ත ප්‍රාඥයින්ට පමණක් වූ උත්තරීතර දෙයක් බවට සමහරු කියති. එය නම් පට්ට පල් අමූලික බොරුවකි. එවන් ප්‍රඥාවන්තයින්ට භාවනාව ඒතරම් අවශ්‍ය නැතිය. ධර්මකාරණා සැනින් ඔවුනට තේරුම් ගැනීමට ඉතා උස් බුද්ධියක් තිබෙන බැවිනි. එවැනි සූක්ෂ්ම බුද්ධිමහිමයක් ඇති මිනිසුන් උද්ඝටිතඥ සහ විපටිතඥ පුද්ගලයින් ලෙස හැඳින්වේ. ඔවුනට යම් කිසි ගැඹුරු දහමක පේලියක් ඉතා කුඩා සාරාංශයක් මුණ ගැසුණු කල්හී සාකල්‍ය ග්‍රහණය වෙති.

මොලේ නැති අයට මොලේ පාදගන්න ඒකායන ව්‍යායාමය

එහෙත් නෙයිය හා පදපරම පුද්ගලයින් ලෙස හැදින්වෙන මනුෂ්‍ය ලෝකයේ බහුතරයකට යමක් තේරුම් ගැනීමට සෑහෙන්න මහන්සි විය යුතුවේ. ඔවුනට අනිත්‍ය ආදී ත්‍රිලක්ෂණය ද අවබෝධ කර ගැනීඹට බොහෝ වෙහෙස මහන්සි විය යුතුවේ. ඔවුනට එකී කාරණා නැවත නැවත ඉගෙනීම ඒ ගැන විවිධ කෝණ වලින් හිතමින් සමස්ථය සිය මනසට ජීරණය කර ගැනීමට භාවනාව මගින් බ්‍රේන් වොෂ් කරගත යුතුව ඇත. භාවනාව ද බ්‍රේන් වොෂ් එකකි. එය නියම පිළිවලට සිදු කර නොගත්තේ නම් තිබ්බාටත් වඩා අවුල් වනු ඇත.

භාවනාව තනිව කරගන්න බුදුන් දුන් මීටර් පද්ධතිය

ගුරු ඇසුර සහිතව කළ යුතු බව කියන්නේ ඒ නිසාය. එහෙත් ගුරු ඇසුර නැතුව ද එය කර ගෙන නිවැරදි මග යාමට හැකි විද්‍යනු කූල මීටර් පද්ධතියක් බුදුරදුන් විසින් අණාවරණය කොට තිබේ. එකී මීටර හා ඒවායේ අදාළ පාඨාංක ලබාගෙන ඒවා කියවමින් තමාගේ භාවනා කර්මස්ථානය මනරම්ව කරගෙන යාමට අවකාශ ලැබේ. එනම් එය සිය ගුරු තනතුරෙහි ලා සැලකීම ද හොඳම දෙයකි.
එකී මීටර පද්ධතිය සත්තිස් බෝධී පාක්ෂික ධර්ම ලෙස හැඳින්වේ. එනම් කිසියම් මීටර 37ක මීටර පද්ධතියක් ඔබට සපයා දී තිබේ. සතිපට්ඨාන 4, සම්‍යක් ප්‍රධාන 4, සෘද්ධිපාද 4, ඉන්ද්‍රිය 5,බල 5, බොධ්‍යංග 7,මාර්ගාංගයෝ 8 ලෙස ඒවා හැඳින්වේ. මේ එකි නෙක විග්‍රහ කිරීම වූ කලි ඔබට භාවනා කිරීමේ උනන්දුව මෙතනින්ම නැති කිරීමට ද හේතු විය හැකි බැවින්, අවශ්‍ය අය වෙතොත් ධර්ම පුස්තකයක් ගෙන ඒවා සොයා ගන්නට යැයි කාරුණිකව ඉල්ලමි. එහෙත් මෙතැනදී මීටර හා සත්තිස් බෝධීපාක්ෂික ධර්ම අතර ඇති සමානතාව හා එය භාවනාවේදී යොදාගන්නා අයුරු නිදසුන්ක් දෙකක් ඉදිරිපත් කරමි. ඉතිරිය ඔබ ගේ මනසින් අදාළ ධර්ම කාරණා සොයාගෙන ගමනට පිවිසිය හැකිය.

භාවනාවට දුන් (ප්‍ර)බුද්ධ මීටර කියැවීම

වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥාව ආදිය උක්ත බොහෝ කාරණාවලට අයත් භාවනා වඩන්නකුට දී තිබිය යුතු ගුණාංගය. වීරිය යන්න ගත හොත් තමන් අදාල භාවනා කර්මස්ථානය වැඩීමට උත්සාහය හෝ වීර්යක් තිබිය යුතුය. එසේම දිගටම කරගෙන යාමට ටද වීරිය තිබිය යුතුය. අවසන අදාළ ප්‍රතිඵලය ලබාගැනීමට ද එම වීරිය අත්නොහැර ගෙන ආයුතුය. දැන් මෙම වීරිය නමැති මීටරය වාහනයක හීට් මීටරය හා සසඳා බලන්න. එහි දර්ශක කටුව බින්දුවේ තිබී බැරිය. එය තරමක් උස් අගයක තිබිය යුතුය. එසේම වීරිය ඕනෑවට වඩා තිබුණ හොත් අධික වීරිය නිසා හිත සමාධිගත කරගත නොහැකිව භාවනාව අවුල් වේ. එහෙයින් මෙය මධ්‍යස්ථව පාලනකින් යුතුව තබා ගත යුතුය.
එසේම සතර සම්‍යක් ප්‍රදාන ලෙසින් ද මාර්ගාංග විස්තරයෙහි එන සම්මා වායාම හෙවත් වීරිය චෛතසිකය හඳුන්වන කාරණා 4 ද අතිශය වැදගත්වන මීටරයකි. එහි තිබිය යුතු පාඨාංක 4හි සිත පවත්වා ගත යුතුය. එනම්,
1. උපන් පාපයන් නසනු පිණිස වීරිය වඩනු
2. නූපන් පාපයන් නූපදීමට වීරිය වඩනු
3. උපන් කුසල් වැඩි දියුණු කිරීමට වීරිය වඩනු
4. නූපන් කුසල් සිතුවිලි ඉපිදවීමට වීරිය වඩනු
------------------------------------------------------------------------------------------------------------------------------
මේ වන විට භාවනා වැඩීමට පුද්ගලකු දැනගෙන සිටිය යුතු යම් යම් දැනුම කොටසක් දැක්වූයෙමි. එහෙයින් ඊලඟ ලිපියෙන් සමථ භාවනාව වැඩීම සම්බන්ධයෙන් කතා කරමු.

(8 කොටස)

෴සමනොළ෴

මුලු සංසාරයම ඉන්ෂුවරන්ස් කරන ත්‍රිලක්ෂණය

මුලු සංසාරයම ඉන්ෂුවරන්ස් කරන ත්‍රිලක්ෂණය

භාවනාව වැඩීමේ දී මතුවිය හැකි මනෝභ්‍රාන්තීන්, බිය පහකර දිගටම කරමස්ථාන වැඩීමේ ආරක්ෂකයා ලෙස අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය භාවිතාවට ගැනීම ගැන පසුගිය ලිපි වලදී තරමක් දුරට කතා කලෙමු.
අනිත්‍ය ලක්ෂණය හා ඒ සම්බන්ධ ගැඹුරු කාරණා රැසක් පසුගිය ලිපියෙන් සාකච්ඡා කෙරුණි. ශක්තිය හා පදාර්තය ලෙස පවතින නාම රූපවල අසංතතික බව, ස්ථීරව නොපවතින ස්වභාවය, ඉපද බිදෙන ස්වරූපය ගැන ගෙනා විග්‍රහය අනුව ඔබට ඒ ගැන යම් අදහසක් ඇතිවන්නට ඇත. ඒ අනුව අපට දුක්ඛ හා අනාත්ම යන ඉතිරි ලක්ෂණ ස්වරූපයන් ගැන කෙටියෙන් තේරුම් ගනිමු.

2. දුක්ඛ

දුක්ඛ යන කාරණාව ගැන ඉතා පුලුල් විග්‍රහ ඇතත්, ත්‍රිලක්ෂණය සැලකීමේ දී අනිත්‍යයට බදුන්වන ශක්තිය හා පදාර්ත සියල්ල ක්ෂණික හා ආයුක්ඛ මරණයන මූලික වෙනස්කම් දෙකට බදුන්වීම යන්න සැලකූ විට එසේ වෙනස්වීම කෙතරම් දුකක්ද යන්න වැටහේ.
මිනිසකු ඉපද වැඩී ලෙඩ වි වයසට ගොස් මියයාම යන කාරණාවේදී වෙනස්වීමට එරෙහිව අප කෙතරම් වද වෙනවාද? ඊට කොහෙත්ම කැමති නැත. සමහර විට අසනීප වී සිට සුවපත්වීම සුඛ ලෙස දැනුන ද කවදා හෝ යළි ලෙඩ නොවී සිටීම හෝ මරණයට පත් නොවේ යැයි ගැරන්ටියක් දිය හැකි නොවේ. ඒ නිසා කොහොම හිතුවත් අවසන ඇත්තේ දුකය.
එසේම පදාර්ථ හෝ ශක්තියේ තැනුම් ඒකකවල කලින් සඳහන් කළ පරිදි සිදුවන අනවරත වෙනස අපගේ සංවේද ඉන්ද්‍රියනට සෘජුවම ගොචර නොවන නිසා අපට දුකක් යැයි නොදැනිය හැක. එහෙත් ඒ ගැන වැටහීමක් ඇති කරගන්නා තුළ දුක පිළිබඳ පුලුල් දෘෂ්ටියක් ඇතිවේ.

මෙහෙම දුක ගැන හිතන එක කාලකන්නි කමක්ද? නෙගටිව් ඇටිටියුඩ් එකක්ද?

දුක ගැන හිතා දුකෙහි ඇලී ගැලී දත්මදින්නේ නැතුව මූණ හොදන්නේ නැතිව අජවෘත ගෝව්‍රත වඩමින් කාලකණ්නියන් ලෙස සෘණාත්මක ආකල්පයක සිරවී සිටීම බුද්ධාගම ද? නැත. ඔබ ශක්තිය හා පදාර්තයේ ඉපදීම් බිඳවැටීම් හෙවත් අනිත්‍ය දකිනවා යනු ඔබට සමස්තය ගැන පුලුල් වැටහීමක් ගොඩ නැගේ. අනික් මිනිසුන්ටද තමන්ට මෙන්ම ජීවත්වීමට ඇති අවස්ථා සතුටු වීමට ඇති අවස්තා සඳහා ඔබ ඉතසිතින් අනුග්‍රහය දක්වන හැගුමකි. මක්නිසාද යත් මොනා කලත් අවසන මියෙන බව ඔබ ගැඹුරින් දන්නා නිසාය. එලෙස ප්‍රබලව යතාර්ථය පිළිබද පුලුල් දැක්මක සිටීම ගාම්භීර ධනාත්මක මනෝභාවයකි. තමන් අතිශය ප්‍රියකරන දෙයක් වුව අවශ්‍ය මොහොතේ අතහැර හිත ගැඹුරු සතුටක පවත්වා ගැනීමේ ශක්තියකි.

3. අනාත්ම

අනාත්ම යන ලක්ෂණය ගැන හමු වූ හොඳම විග්‍රහය නම් ඉහත පැහැදිලි කළ දුක ඇතිවන්නා වූ හේතුවක් නිසා හටගත් සෑම දෙයකටම උරුම, අනිත්‍ය යන කාරණාව තමාගේ කන්ට්‍රෝල් එකේ හෙවත් පාලනයේ අප අනසකට යටත්ව නොපවතී යන්න 100%ක්ම තේරුම් ගැනීමය.
පදාර්ථයේ හා ශක්තියේ නිමැවුම් වන නාම රූප හෝ හේතු ප්‍රත්‍ය නිසා ලොව හටගන්නා සියලු සංස්කාර ධර්ම හෙවත් අප සිරුර අපගේ සමීපතමයන් අපගේ යැයි හිතා සිටිනා දේපල වෙනස් වී විනාශවී මියපරලව යාම සිදුවේ. ජීවිතයේ අනිවාර්ය සංවේදීතම සංදිස්ථානය වන අනිත්‍ය හෙවත් වෙනස්වීම මරණයයන තැන දී ඔබට මෙය කාටත් සිදුවිය හැක්කක් යැයි පූර්ව දැනුමක් අවබෝධයක් තිබේනම් එම අවස්තාව කළමනාකරණය කරගැනීම ඉතාපහසු වනු ඇත.
කවදා හෝ කොයි මොහොතේ හෝ මියෙන බව දැන සිටීම අනෙකා මරා හෝ තමා හැදීම යන අවගුණ අඩු කර ගැනීමටත්, මරණය ගැන දන්න නිසා එවැනි තීරණාත්මක අවස්තාවල කලබලයකින් තොරව කූල් එකේ වටපිටාව මනාව කළමනාකරණය කරගන්නෙට එවැන් දක්ෂයාගේ මනසට යහපත් කල්පනා පහළවේ. එම යතාර්තවාදී අවබෝධයම ඔබට ජීවිතය සඳහා නව මංපෙත් පවා විවර කරයි.

උදාහරණය - මරණය ගැන ගැඹුරු අවබෝධය යතාර්තය ගැන වූ ධනාත්මක චින්තනයයි.

කලකට ඉහත දී සතර සතිපට්ඨානය නමැති භාවනා ක්‍රමය දිනපතා මාස 2ක් පමණ කලක් සෑම දිනම උදෑනස 4 සිට 6 දක්වා කාලය තුළ ප්‍රගුණ කලෙමි. එහිදී ලැබූ අත්දැකීම් ගැන පසුව කියමි. එහෙත් ඒතුලින් මා තුළ ඇති වූ ජීවිතය ගැන යතාර්තමය අත්දැකීම ජීවිතයේ අතිශය තීරණාත්මක කටුක මොහොතවල් සංත්‍රාසයට පත්ව අවුල් නොවී කූල් එකේ කළමනාකරණය කර ගෙන තවදුරටත් ජීවත් වී සිටීමට අවස්ථාව උදා වූ බව කිවයුතුමය.

කොන්ද බිඳුණත් හිත කෙළින්

එනම් දිනක් මා මෝටර් සයිකලය හදිසි අනතුරකට ලක්ව මහපාර මැද රොකට්ටුවක් මෙන් පතිත වී මාගේ කොන්දේ කශේරුකා කිහිපයක් කැඩී මරණාසන්න විය. කොන්ද මැද සිට ඉහළටත් පහලටත් ගින්දරක් මෙන් ගමන් කළ වේදනාව මෙන්ම කකුල් මාගේ ක්‍රියාකාරිත්වයෙන් තොරවී චලනය වන්නටත් විය. මතුපිටින් සීරීමක්වත් නැතිව තිබුණ ද අභ්‍යන්තරයේ ඇති වී ඇති මහා ව්‍යසනය ගැන මට දැනිණ. ක්ෂණයක් තුළ මාගේ දෑස් නිලංකාර වෙමින් සිහිසුන් වන සෙයියාවක්ද දැනිණ. එහෙත් තත්පර කිහිපයක් තුළ මට සිදුවී ඇති දෙය තව සුලු මොහොතකින් මා මිය යනු ඇත. මෙය කවදා හෝ කොතැනකදී හෝ සිදුවනු ඇතැයිද ගැඹුරු හැගීමක් මාතුළ ඇතිවිය.එසේම මාගේ දරුවන්, පුංචි පුතු, බිරිඳ ආදිය ගැන සිතුන ද, ඒවාට මා කැමති වුව ද අනිවාර්යයෙන් තවසුලු මොහොතකින් අතහැරිය යුතු යැයි තීරණයකට එන්නට සිදු විය. එසේම ක්ෂණයක් තුළ මෙම අවස්ථාව නිවී සැනසිල්ලේ කළමනාකරණය කරගත හොත් මට තව ජීවත්වීමේ අවස්ථාව උදාකරගන්නටත් හැකියැයි සිතිණ.

ගැරඩියාටත් බය එකා තුළ පතාක වීරයෙක්

ඒ අනුව වහා සිහි නැතිවීමට එන සංඥාව පරදා මම රෝහලකට යනතුරු මනා සිහියෙන් යුතුව අවශ්‍ය දෑ සිදු කරමියැයි මටම අදහාගත නොහැකි මහා අධිෂ්ඨානයක් ඇතිවිය. මීයෙක් ගැරඩියෙක් දුටුවත් පැන දුවන කාඩ්බෝඩ් වීරයකු වූ මා තුළ, ජීවිතයේ යතාර්ථයේ සංධිස්ථානයක මෙතරම් හැකියාවක් කෙසේ දැයි මට තාම හිතා ගත නොහැකිය. කෙසේ වෙතත් එතැන රැස්ව සිටියනට මාව ඔහේ ඔසවන්නට නොදී ඔවුනට බිම සිටම ප්‍රථමාධාර ගැන කියා පාර අයිනේ කඩපිළක දිගා කරවා ගෙන මාගේ බිරිඳට, ආයතන ප්‍රධානියාට සහ මාගේ හිතමිතුරකුට දුරකතනයෙන් කතා කර කොඳු ඇට ස්නායු බිඳුණු රෝගියකු ලෙස සීරුවට කොළඹ මහරෝහලේ හදිසි අනතුරු ඒකකයට යාම දක්වා කම්පාවකින් තොරව,කළබලයකින් තොරව සිදුකරගැනීමට හැකිවිණ.

ජීවිතයේ බෝනස් වැළඳීම

එහි ප්‍රතිඵලය ලෙස අදටත් මට ජීවත් වීමේ වරම පමණක් නොව අංශභාග නොවී සාමාන්‍ය මිනිසකු ලෙස ජීවත් වීමේ වරම හිමීකර ගතිමි. එසේ නොවුනානම් රෝහලට පැමිණීමට පෙර එක්කෝ මාගේ කොන්ද සම්පූර්ණයෙන් සුවකළ නොහැකි ලෙසම කැඩී යන්නට තිබිණ. දැන් මා ජීවත් වන්නේ ජීවත් නොවී සිටිය යුතු ආයුසයක් සඳහා ලද ජීවිතයේ බෝනස් එකක බව මම ඉඳුරාම දනිමි.

(7 වන කොටස)

------------------------------------------------------------------------------------------------------------------------
(ඊලඟට- භාවනා කර්මස්ථානය ඇරඹීම යානයක් පැදවීම බඳුය. යානය නිසි ගමනාන්තයට යවන්නට නම් එහි එන්ජීමේ හා ක්‍රියාකාරීත්වයේ ස්වරූප දැන ගැනීමේ විවිධ මීටර හා පාථාංක ගැන අවබෝධයක් තිබිය යුතුය. භාවනාවේ ප්‍රගමනය මනින පාඨංක හොවත් බෝධීපාක්ෂික ධර්ම සීරු මාරු කර ගැනීම ගැන ඊලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න)

෴සමනොළ෴

ශක්තිය හා පදාර්ථ (නාම රූප) අනිත්‍ය වන හැටි

ශක්තිය හා පදාර්ථ (නාම රූප) අනිත්‍ය වන හැටි

රූප

රූප යනු විද්‍යාවේ දැක්වෙන පදාර්තය බව පැහැදිලිය. බුදු දහමට අනුව සතරමහා භුතයින්ගෙන් හටගත් දේවල්ය. ඇස,කණ,දිව,නාසය,ශරීරය කොටස් ඉන් නිර්මාණය වී ඇති අතර සිත(මෙය ශක්තියක් විය යුතුය) මේවා සමායෝජනය කරමින් පවතී.

නාම

නාම යනු 1.විඳීම(වේදනා), 2. හඳුනාගැනීම(සංඥා), 3.චේතනා(චේතනාව), 4.පස්ස(ස්පර්ශය), 5. ක්‍රියාකාරීව සිත පැවැත්වීම(මනසිකාර) ලෙස දක්වා තිබේ. මේවා හුදෙක් පදාර්ථයෙන් වියුක්ත ශක්ති කොටසට ගත හැකි ධර්ම තා බව හැගේ.

පංචස්කන්ධය හෙවත් පංච උපාදාන ස්කන්ධය

සත්වයකු හෝ ජීවියකු ස්කන්ධ පංචකයක් හෙවත් ස්කන්ධ 5ක් ලෙස බුදු සමයේ දැක්වේ. ස්කන්ධ කීවිට එය කාලය හා අවකාශය හෙවත් ඉඩහසර තුළ පැවතිය යුතුය. (එහිදී කාලය යනු අතීත වර්තමාන හා අනාගත වශයෙන් වේ. අවකාශය අධ්‍යාත්ම, බාහිර, ගොරෝසු, සියුම්, කුඩා-විශාල, යහපත් අයහපත්, දුර-ලග වශයෙන් විවිධය.)
එහෙත් පංචස්කන්ධය යනු නාම රූප නොවන බව ද දැක්වේ. එහෙත් පංචස්කන්ධය ද පදාර්ථය හා ශක්තිය ලෙස, නාම රූප මෙන්ම වෙන් කළ හැකි ය.
1.රූප- මූලිකව පදාර්ථයෙන් තැනේ
2. වේදනා- විඳිම (සුඛ/දුක්ඛ/උපේක්ඛා)
3.සංඥා- හඳුනා ගැනීම
4. සංඛාර- හඳුනාගැනීමට අනුව විවිධ චේතනාවන් පහළ කරගැනීම(ගැඹුරු මාතෘකාවකි)
5.විඤ්ඤාණ- සිතෙන් යමක් දැන ගැනීමේ ස්වභාවය
(පංච උපාදානස්කන්ධයේද රූප හැරුණු කොට අන් සියල්ලම ශක්ති පදාර්ත ගණයට ගත හැක)

රූප ඇතිවී නැතිවේ මෙලෙසේ

පෙර ලිපියෙන් දැනුවත් කළ පරිදි උපපරමාණුක අංශුවක් තරම් යැයි සැලකිය හැකි රූපකලාපය ඇතිවී, පැවතී නැතිවී යාමත්, ශක්ති පදාර්ථයේ කුඩාම තැනුම් අංශුව ලෙස සඳහන් චිත්ත කලාපය එලෙසම ත්‍රිලක්ෂණයට බදුන් වීමත් පළමු ප්‍රස්තාරයේ පැහැදිලිව දැක්වේ.

රූප හා චිත්ත කලාපයක කාලය තත්පරවලින් ගතහොත්?

රූප කලාපයක් ඇතිව පැවත නැතිවීමයාම(ත්‍රිලක්ෂණය සැපිරීම) චිත්තක්ෂණ 17ක කාලයක් තුළ සිදුවන බව පැවසේ. චිත්තක්ෂණය යනු තත්පරයකින් කෝටියකින් එකක් තරම් අතිශය සියුම් කාලයක් යැයි ද සඳහන් වේ. ඒ අනුව මයික්‍රො තත්පර 1/10ක් චිත්තක්ෂණයක් වෙතැයි සිතිය හැක.
එසේම රූප කාලාපයට සාපේක්ෂව 17 ගුණයක් සීග්‍රයෙන් චිත්ත කලාප ඇතිවී පැවත නිරුද්ධ වීම සිදුවේ. එනම් චිත්ත කලාප 17ක් ඇතිවී නැතිවී යන තෙක් තරමක් දිගු ආයු කාලයක් රූප කලාපයට තිබේ. මේ අනුව තත්පරයකින් මිලියන ගාණකින් පංගුවක් යනු අපගේ ඉන්ද්‍රියන්ට කිසිදු ලෙසකින් ගෝචර නොවන ඉතා කුඩා කාලයකි.

ඇතිවී නැතිවීම අපට නොපෙනෙන්නේ ඇයි?

තවදුරටත් රූප කලාපයක් හෝ චිත්ත කලාපයක් ඇති වී නැතිවී යන විට ඔවුන්ගේ පැටවුන් ලෙස ඒ හා සමාන රූප කලාපත් චිත්ත කලාපත් නිපදවා නිරුද්ධ වෙතැයි පැවසේ. මේ නිසා එහි අසංතතියක් (කැඩි කැඩී යාමක්) තිබුණත් කිසියම් සංතතිතක (අඛණ්ඩව පැවතෙන) බවක් අපට දැනේ.
එසේ නොදැනෙන්නට අපේ පංචේන්ද්‍රිය එකි සංඛ්‍යාතයේ දෑ දැකීමට තරම් ටියුන් වී නැත. එය ටියුන් කර ගත හැකි මාර්ග අතර ධර්මය විද්‍යාව හැදූරීම මෙන්ම භාවනාවද වැදගත්ය.
එසේම මෙම ප්‍රස්තාර ඔබ හොදින් නිරික්සන්නේ නම් ඔබට රූප කලාප වලත් චිත්ත කලාප වලත් පවතින එකී අසංතතික බව තේරුම් ගත හැකිය. තත්පරයටත් අඩු කාලක සිදුවන එවැනි අසංතතික ලක්ෂයයන් අපට සංතතිකව දෘෂ්‍යමාන වීම හෙවත් පදාර්ථයේ හා ශක්තියේ ක්ෂණික මරණය යන සංකල්පය අපට තේරුම් ගත හැක.
එසේම පෙර ලිපියේ සඳහන් කළ පරිදි පදාර්ථයේ හා ශක්තියේ, සම්මුතිය හා සැබෑ යතාර්ථය හෙවත් පරමාර්තමය සත්‍ය අපට වටහා ගත හැකිය.

අසංතතිය හා මායාව හදුනාගැනීමට චිත්‍රපටයේ තාක්ෂණය 

ඒ ගැන හිතන්නට ඔබට තවත් කුඩා උදාහරණයක් කියමි. චලන චිත්‍රය හෙවත් චිත්‍රපටයේ තාක්ෂණික ස්වරූපය ගැන ඔබ ඉගෙන ගෙන ඇති නම්, කිසියම් චලනයක් ප්‍රක්ෂේපණය කිරීමට අදාලව අනුයාතව ඡායාරූප ගත කළ රූප රාමු 38ක් 42ක් පමණ තත්පරයක් තුළ සිනමා ප්‍රොජෙක්ටරයේ කවුලුව හරවා චලනය කරවිය යුතුය. එවිට ඒ හරහා ගලන ආලොක කදම්භය මගින් තිරය මත නලු නිළි රංගන තාත්වික ස්වරූපයකින් දිලේ. එය සැබවින්ම මායාවක්මය.
එසේම අප පසදුරන්ට ලැබෙන දෘෂ්‍ය හෝ ශ්‍රව්‍ය සංඥාවක් තත්පරයෙන් 1/18කට ආසන්න කාලයක් මතකයේ රැඳී පවතී. ඒ කාරණාව නිසා චලනචිත්‍රය හෙවත් චිත්‍රපටය කිසිදු කඩ වීමකින් තොරව මෘදුව ගලායන රූප පෙලක් සේ අපට දිස්වේ. රූපවාහිනී පරිගණක ආදී තිරවලද මෙකී සිද්ධාන්තය පදනම් කරගත් තාක්ෂණයකින් අපව මායාවකට හසුකර ගෙන තිබේ. එලෙස යතාර්තය අවබෝධ කර ගැනීම භාවනාවේ සුන්දර ගතික හැකියාවක්මය.

(6වන කොටස)


෴සමනොළ෴

ත්‍රි ලක්ෂණය තරමක් ගැඹුරට විමසමු

ත්‍රි ලක්ෂණය තරමක් ගැඹුරට විමසමු?

(භාවනාව සිදු කිරීමට මත්තෙන් තව ලිපි කිහිපයක් ඊට පෙරාතුව දැනගත යුතු සංකල්ප ගැන යම් අවබෝධයක් ලබා ගැනීම පිණිස යොදවමු. එය වැදගත් වනු ඇත)
ඒ අනුව අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයේ එකිනෙක විමසා බැලීම උචිතය. 

1.අනිත්‍ය

හේතුවක් නිසා හට ගෙන ඇති සකල සංස්කාර ධර්මයෝ ( වස්තූන්, ජීවීන් සහ ශක්තීන් සියල්ල නාම රූප ලෙස හැදින්වෙන) අනිත්‍යයට හෙවත් වෙනස් වීමට බදුන් වෙති. කිසිවක වෙනස් වීම අවදි 3කි.
1. ඉපදීම (උප්පාද)
2.පැවැත්ම (ස්තිථි)
3. මරණය/ විනාසය/බිඳීම (භංග)

පදාර්ථය හා ශක්තියට සමාන ( නාම රූප)

විද්‍යාවේදී පදාර්තය පවතින මූලික අවස්ථා 3ක් ගැන කියයි. 
1.ඝන
2. ද්‍රව
3. වායු
(මේ සියලු අවස්ථාවන්ට පත්වන පදාර්ථය මූලද්‍රව්‍ය යන තැනුම් ද්‍රව්‍ය වර්ග 108ක් පමණ වන අතර, ඒවායේ කුඩාම තැනුම් ඒකකය පරමාණුව වේ.) බුදු සමයේ පදාර්ථයේ කුඩාම තැනුම් ඒකකය රූප කලාපය නම් වේ. එය පරමාණුවකටද වඩා කුඩා උපපරමාණුක අංශුවක් බවයි පැවසෙන්නේ.
බුදු සමයේ පදාර්ථයේ හෙවත් රූපයේ පවතින අවස්ථා 5ක් ලෙස දැක්වේ.(මහා භූත රූප)
1. ආපෝ (ද්‍රව)
2.තේජෝ(උණුසුම/සිසිල-උෂ්ණත්වය)
3.වායෝ (වායු)
4.පඨවි (ඝන)
5.අවකාසෝ (රික්තය/හිස්අවකාශය)
විද්‍යාවේ ශක්තිය යන්න තරංගමය ස්වරූපයක් ලෙස ද එය ද අනවරතයෙන් වෙනස් වීම් වලට බඳුන්වන බවක් ද පැවසේ. බුදු සමයේ ඊට සම කොටස ලෙස නාම රූප දෙකෙන් නාම යන්න හදුනාගත හැකි අතර එය ද අසන්තතික ස්වරූපයක් ගන්නා බව කියැවේ.

(*සැ.යු-නාම රූප පිළිබඳ විග්‍රහය පසුවට වෙනම කතා කරමු)

සම්මුතිය හා පරමාර්ථය

සම්මුතිය යනු, මිනිසා, බල්ලා, කොළඹ, චන්ද්‍රයා ආදී අප භාවිත කරන සකළ සංකල්ප හැදින්වීම පිණිස දී ඇති සම්මුතික නාමයය.
පරමාර්ථය යනු එකී සකළ සම්මුතික නාමයන්ට අයත් වස්තූන්, සියල්ලම නිර්මාණය වී ඇත්තේ ඉතා කුඩා අංශු වලින් බව දැනගැනීමයි. එනම් යතාර්තවාදී ලෙස ලොව සියල්ල පරමාණුක ස්වරූපී අංශු වලින් තැනී ඇත.
ඒ අනුව මම යැයි කී විට මගේ සිරුරත් පොලවේ ගල් ගෙඩියකත් අඩංගු මූලික තැනුම් ද්‍රව්‍යයන් සර්ව සම වන බව පෙනේ.(මහාභුත රූප හෙවත් පදාර්තයෙන් තැනී තිබේ)

පදාර්ථය හෙවත් (මහාභූත)රූප

නවීන විද්‍යාව අනුව ද බුද්ධ ධර්මය අනුව ද ලෝකයේ පදාර්ථය (රූප) තැනී ඇත්තේ අතිශය සියුම් අංශූන් මගිනි. පරමාණුව ගත්තද එහි වූ අංශු අතර ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන , න්‍යුට්‍රෝන , මීසොන ආදීය ගැන විද්‍යාවේ කතා කෙරේ. එම අංශූන්ට ද වඩා කුඩා ආලෝක අංශු විශේෂයක් හෙවත් ලෙප්ටෝන නමැති තවත් කුඩා අංශු ගැනත් විද්‍යාවේ කියැවේ. අභීධර්මයට අනුව රූපය හෙවත් පදාර්තය තැනී ඇති කුඩාම ඒකකය ලෙස අතිසූක්ෂ්ම රූප කලාපය නමැති ක්ෂුද්‍ර අංශු විශේෂයක් යැයි කියති.
පරමාණුවක ස්වරූපය ගැන ඉගෙන ගෙන ඇති නම් ඒවටා ස්වකීය අංශු වල සිදුවන වේගවත් චලිතයත්, ඒ අනුව පරමාණුවේ ඉඩහසර ගන්නා පරිමාව හෙවත් ප්‍රමාණයත් සැලකූ විට හදුනාගත හැකි කාරණා කිහිපයකි.පරමාණුවේ වැඩි ඉඩක් ඇත්තේ හිස් අවකාශයය. එහි අංශුමය ස්වරෑපයක් ඇති අතර තද කොටස් දැකිය හැක. එනම් පරමාණුවක වපසරියෙන් 90%ක්ම ඇත්තේ හිස් අවකාශය වන අතර පදාර්ථමය ද්‍රව්‍ය කොටස ඇත්තේ 10%ක් පමණය. ඒ අනුව පරමාණු වලින් නිර්මිත මූලද්‍රව්‍ය සංයෝග ඉන්ද්‍රයිකා සෛසල පටක ආදී වශයෙන් තැනුණු මිනිසකුගේ සිරුරේ 90%ක්ම හිස් අවකාශය බව තේරුම් ගත හැකිය.
එසේම ක්ෂණයකදී පරමාණුවේ ස්වරූපය ඡායාරූප ගත කර නැවත සුලු කලෙයකින් යළි ගතහොත් එහි අංශු පිහිටන ස්ථාන වෙනස් බව හිතිය හැකිය. එනම් පදාර්තයේ කුඩාම අංශුව අතිසියුම් කාලයක් තුළ කෙතරම් වෙනස් කම් වලට බදුන්වේදැයි හිතා බලන්න.
විද්‍යාවේ එකී මූලික සංකල්ප දන්නා ඔබ මදක් දෙනෙත් පියා පුද්ගලයකු මනසින් විශාලනය කර බලත හොත් පදාර්තය හෙවත් පුද්ගලයකුගේ අංශුමය ස්වරූපයත් එකී අංශුවල සිදුවන වේගවත් චලිතය හෙවත් වෙනස්වීම අනිත්‍ය ද පරිකල්පනය කරගන්නට හැකිය. ඒ අනුව ඔබ මිනිසකු ගේ අවයව- පද්ධති -පටක -සෛල -සෛලීය ඉන්ද්‍රයිකා- සංයෝග -මූලදූව්‍ය- අණු- පරමාණු -පරමාණුක අංශු (රූපකලාප) යන කොටස් ක්‍රමිකව විශාලනය කර පරමාණුවක ඉලෙක් ට්‍රෝනයක් ටෙනිස් බෝලයක තරමට විශාලනය කළා යැයි සිතුව හොත් හිස් අවකාශයක අංශු චලනය වනවා මිස මිනිසකු හෝ ජීවියකු ඇතැයි නොදැනෙනු ඇත.

ආයුක්ඛ මරණය

ළදරුවකු ලෙස ඉපිද වැඩී ළමයා, තරුණයා, මහල්ලා සහ මළමිනිය ලෙස සිදුවන වෙනස අපගේ පසඳුරන්ට ගෝචර කරගතහැකි අතර තේරුම් ගැනීම ද අසීරු නැත. මෙසේ සිදුවන වෙනස් වීම ආයුක්ඛ මරණය ලෙස හැදින්වේ.

ක්ෂණීක මරණය

එහෙත් පුද්ගලයකු හෝ ද්‍රව්‍ය හෙවත් පදාර්ථය සෑදී ඇති අතිශය කුඩා අංශු, තත්පරයකින් දහස් කීපගුණයකට වඩා කුඩා කාලයක් තුළ වෙනසකට බදුන්වේ. එසේම නාම රූප දෙකෙහි නාම යන කොටසට අයත් ශක්තිය ලෙස හඳුනාගත හැකි කොටසද සමන්විත වී ඇති අංශුමය හෝ ශක්ති තරංගමය ආකාර කුඩා කෙටස ද එවන් කුඩා කාලයක් තුළ වෙනස් වීමට බදුන්වේ. මෙසේ සිදුවන වෙනස් වීම ක්ෂණික මරණ ලෙස හැදින්වේ.

(5 වැනි කොටස)

------------------------------------------------------------------------------------------------------------------------------
සත්ත්වයා/පුද්ගලයා නිම වී ඇති නාම රූප අනිත්‍යයට බදුන්වන ආකාරය බුදු දහමේ ඇති භෞතික විද්‍යනුකූල පදනම ඊලඟ ලිපියෙන් බලමු.

෴සමනොළ෴

තිලකුණු මෙනෙහි කිරීමෙන් යෝගී සිත ආරක්ෂාවන්නේ කෙසේද?

තිලකුණු මෙනෙහි කිරීමෙන් යෝගී සිත ආරක්ෂාවන්නේ කෙසේද?

ගැඹුරු ම‍නෝභාවයක නිමග්නව භාවනා කරන විට විවිධ මනංකල්පිත රූප ශබ්ධ ගන්ධ දර්ශනය වන්නේ නම් යෝගියා බිය වීමටත්, භාවනාව නැවතිම පමණක් නොව වෙනත් මනෝ ව්‍යාධීන් ඇතිවීමටත් හේතු වන බව කියවේ. ඒ සඳහා බෞද්ධ භාවනාවේ දී මුලින්ම තිසරණ සහිත පංසිල් සමාදන්වී ත්‍රිවිධරත්නයට සිය ආත්මය පූජාකර කර්තව්‍ය ඇරඹීය යුතු බව දැක්වේ. එසේම එවැනි බියක් දැනුන කල්හී පඨවී බල සුන්දරී සබ්බඤ්ඤු බෝධි මණ්ඩලං යන ආරක්ෂා ගාථා සජ්ජායනා කිරීමෙන් බිය දුරුවන බව ද දැක්වේ.

ත්‍රිලක්ෂණය මතුපිටින්

කෙසේවෙතත්, ඕනෑම විටක ත්‍රිලක්ෂණය හෙවත් ලෝකයේ යථාර්ථය මෙනෙහි කිරීමෙන් සකල බිය දුරුවන බව කියැවේ. ත්‍රිලක්ෂණයය යනු කාරණා තුනකි. එනම්,

1. අනිත්‍ය- ලොව සියලු දේ ස්ථීර නැතිබව, වෙනස්වන බව.


2. දුක්ඛ- වෙනස්වීම හා විපතට පත් වීම නිසා නිරන්තරව දුක පැවතීම


3. අනාත්ම- උක්ත කරණා දෙක හෙවත් වෙනස්වීම හා දුක හටගැනීම තමාගේ පාලනයෙන් තොරව සිදුවන්නක් බව

සැලුණු සිතට ත්‍රිලක්ෂණය යොදාගැනීම

භාවනාවේදී කිසියම් බිය දනවන සිතුවිල්ලක් හෝ යමක් ඇති වූ විට ඒ සිතුවිල්ල කෙරෙහි සෘජු අවධානය යොමු කොට එය අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණයට අයත් බව ත්, මම නමැති පුද්ගලයාත්, මාගේ ඇතිවන සිතු විලි යන කාරණාත් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණයට යටත් බවත් මෙනෙහි කරන්න.

ඔබ ත්‍රිලක්ෂණයේ ගැඹුර ස්පර්ශ කරගැනීමට සුදානම් ද?

මේවා උඩින් පල්ලෙන් අසා මතකයේ තිබුණ ද තරමක් ගැඹුරු විෂයකි. බුද්ධ ධර්මයේ අභිධර්මය නමැති විෂයාත්මක කොටසට අයිති විග්‍රහයකි. එහෙත් විද්‍යා විෂයන් හදාරා ඇත්තකුට මේ පිළිබඳ වැටහීමක් ලබා ගැනීම ඉතා පහසුය. වෙනත් විදියකින් කිව හොත් භෞතික රසායන විද්‍යාවේ දී කෙරෙන පදාර්ථයේ ගුණ හෙවත් පදාර්ථය පිළිබඳ විග්‍රහය හා බොහෝ සමපාත වන්නකිය.
එහෙයින් මේ පිළිබඳ කිසියම් විෂයාත්මක දැනුමක් ඇති කර ගත යුතුය.

සරල තේ‍රෙන බසින් විමසමු.

ඉදිරි ලිපියකින් ත්‍රිලක්ෂණයේ ගැඹුරු සංකල්ප හැකි තරම් සරල ලෙස තෙරෙන බාසාවෙන්, අප ඉගෙනගත් භෞතික රසායන විද්‍යාෙව් කාරණා හා අභිධර්මයේ කරුැණු කාරණා හා සංසන්දනය කර ඔබ වෙත ගෙන එන්නට බලාපොරොත්තු වෙමි.
ඔබගේ අවංක අදහස හා සහභාගීදායකත්වය ද ලබා දිය හැකිය. එය අතිශයින්ම අගයමි.
(4 කොටස)
෴සමනොළ෴

බවුන් වැඩුමට හුරු වීමට පෙර දත යුතු විෂය මූලික කරුණු කිහිපයක්.

බවුන් වැඩුමට හුරු වීමට පෙර දත යුතු විෂය මූලික කරුණු කිහිපයක්.

පසුගිය ලිපි දෙකින් කතා කළ භාවනාවේ වටපිටාවට තරමක් ඉදිරියට ගිය විට, එහි වූ විෂය මූලික කාරණා කිහිපයක් හඳුනාගත හැක. සාරාංශ ලෙස එය මෙසේය.

භාවනාවේ මූලික ක්‍රම දෙකකි.

1. සමථ භාවනා ( ආනාපන සතිය/මෛත්‍රී භාවනාව/බුද්ධානුස්සතිය ආදිය)(හින්දු තන්ත්‍ර යෝගී භාවනාක්‍රම උදා විවිධ ප්‍රාණයාම/කුණ්ඩාලිනී ආදීය හා ටිබෙට් චීන භාවනා ක්‍රම)(කසින භාවනා) - මෙවා වඩා ධ්‍යාන උපදවා ගත හැකිය.
2. විදර්ශනා භාවනා ක්‍රමය( බුදුන් දුක නැතිකිරීම පිණිස ප්‍රතිනිර්මාණය කළ සතර සතිපට්ඨාන භාවනා ක්‍රමය ආශ්‍රිත භාවනා කායානු පස්සනා/වේදනානු පස්සනා/චිත්තානු පස්සනා/ධම්මානු පස්සනා)

සිත සමථයකට පත් කරගැනීමට නොහැකිව හිත අවුල් කර දමන ධර්ම

මේවා නීවරණ ධර්ම ලෙස හදුන්වන අතර නීවරණ ධර්ම 5ක් ඇත. ඒ නිසා ඒ පහ පංච නීවරණ නමින් හදුන්වයි.
1.කාමච්චන්ද- කාමයට ඇති ආශාව නිසා හිත අවුල් වීම
2. ව්‍යාපාද - තරහව කේන්තිය වෛරය නුරුස්නාබව හේතු කොට හිත අවුල් වීම
3.ථීන මිද්ධ- නිදිමත ගතිය
4.උද්දච්ච කුක්කුච්ච - අලු ගොඩකට ගලක් ගැසුවාක් සේ හිත විසිරී යාම
5. විචිකිච්චා- සැකය. එනම් මේක කලාට හරියයිද? බුදුන් කීව දේ හරිද? ආදී

භාවනාවෙන් මානසික හෝ වෙනයම් අවුල් ඇති වීමට යන්නේ නම් පිළියම් තිබේද?

භාවනාව වඩන විට සිය සිත අභ්‍යන්තරයෙන් එන ප්‍රතිරෝධ මෙන්ම වෙනත් නොපෙනෙන බලයන්ගෙන්ද බලපෑම් පැමිණිය හැකි බව කියති. එහෙත් මටනම් වෙන බලවේග කෙසේ වෙතත් මාතුලින්ම නැගෙන අදහස් අපහසුකම් මිස අමනුස්ස හොල්මන් දර්ශනය වුයේ නැත. එහෙත් එවැනි විට ඉන් ආරක්ෂාවීමේ ක්‍රමවේද ධර්මයේ සඳහන් වේ.
භාවනා කිරීම යනු ගැඹුරු මනෝභාවයන් හී නිමග්න වීමත් විවිධ අදහස් සංඥා යටිහිතට ඇතුලු කරවීම යන කාරණාවක් වන හෙයින්, සමහර විට ගුරු ඇසුර රහිතව වැරදි ශීල්පීය ක්‍රම අනුව භාවනා කළ හොත් මනසේ විකල්වීම් සිදුවීමේ ඉඩකඩ ඇතැයි යන්න බැහැර කළ නොහැකිය. එවැනි ගැටලු සහගත විටෙක භාවනාවෙන් මිදී යතා ස්වරූපය දක්වා හිත ආපසු තිබුණ තැනට ගෙන ඒමට කදිම මානසික පෞරුෂයක් තිබිය යුතුය. ඒ සඳහා සමහර ආරක්ෂක ගාථා පොත පතෙහි නිර්දේශ කර තිබේ. කෙසේ වෙතත් එවැනි විටෙක සකල විශ්වයේත් සෑම සත්වයකුගේත් ජීවිතයේ යතා ස්වරූපය මෙනෙහි කරන ත්‍රිලක්ෂණය මෙනෙහි කර යතාර්තවාදී වීම කළ යුතු සුදුසුම පියවර බව ධර්මයේ සඳහන් වේ.

සාර්ථකම ආරක්ෂක පිළියම-තිලකුණු මෙනෙහි කිරීමය

කුමක්ද මේ යතාර්තය මෙනෙහි කිරීමේ හෙවත් ත්‍රිලක්ෂණය වැඩීම යන ආරක්ෂාව යැයි ඊලඟ ලිපියෙන් කතා කරමු.
(3 කොටස)

෴සමනොළ෴-

සයන්ස් ෆික්ෂන් "Sci Fi" හෙවත් විද්‍යා ප්‍රබන්ධ ගණයේ ලා සැලකෙන චිත්‍රපට, නවකතා, කෙටිකතා හෝ එවැනි නිර්මාණ ඔස්සේ දලුලන සිතුවිලි මානව...