Thursday 18 May 2017

මුලු සංසාරයම ඉන්ෂුවරන්ස් කරන ත්‍රිලක්ෂණය

මුලු සංසාරයම ඉන්ෂුවරන්ස් කරන ත්‍රිලක්ෂණය

භාවනාව වැඩීමේ දී මතුවිය හැකි මනෝභ්‍රාන්තීන්, බිය පහකර දිගටම කරමස්ථාන වැඩීමේ ආරක්ෂකයා ලෙස අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය භාවිතාවට ගැනීම ගැන පසුගිය ලිපි වලදී තරමක් දුරට කතා කලෙමු.
අනිත්‍ය ලක්ෂණය හා ඒ සම්බන්ධ ගැඹුරු කාරණා රැසක් පසුගිය ලිපියෙන් සාකච්ඡා කෙරුණි. ශක්තිය හා පදාර්තය ලෙස පවතින නාම රූපවල අසංතතික බව, ස්ථීරව නොපවතින ස්වභාවය, ඉපද බිදෙන ස්වරූපය ගැන ගෙනා විග්‍රහය අනුව ඔබට ඒ ගැන යම් අදහසක් ඇතිවන්නට ඇත. ඒ අනුව අපට දුක්ඛ හා අනාත්ම යන ඉතිරි ලක්ෂණ ස්වරූපයන් ගැන කෙටියෙන් තේරුම් ගනිමු.

2. දුක්ඛ

දුක්ඛ යන කාරණාව ගැන ඉතා පුලුල් විග්‍රහ ඇතත්, ත්‍රිලක්ෂණය සැලකීමේ දී අනිත්‍යයට බදුන්වන ශක්තිය හා පදාර්ත සියල්ල ක්ෂණික හා ආයුක්ඛ මරණයන මූලික වෙනස්කම් දෙකට බදුන්වීම යන්න සැලකූ විට එසේ වෙනස්වීම කෙතරම් දුකක්ද යන්න වැටහේ.
මිනිසකු ඉපද වැඩී ලෙඩ වි වයසට ගොස් මියයාම යන කාරණාවේදී වෙනස්වීමට එරෙහිව අප කෙතරම් වද වෙනවාද? ඊට කොහෙත්ම කැමති නැත. සමහර විට අසනීප වී සිට සුවපත්වීම සුඛ ලෙස දැනුන ද කවදා හෝ යළි ලෙඩ නොවී සිටීම හෝ මරණයට පත් නොවේ යැයි ගැරන්ටියක් දිය හැකි නොවේ. ඒ නිසා කොහොම හිතුවත් අවසන ඇත්තේ දුකය.
එසේම පදාර්ථ හෝ ශක්තියේ තැනුම් ඒකකවල කලින් සඳහන් කළ පරිදි සිදුවන අනවරත වෙනස අපගේ සංවේද ඉන්ද්‍රියනට සෘජුවම ගොචර නොවන නිසා අපට දුකක් යැයි නොදැනිය හැක. එහෙත් ඒ ගැන වැටහීමක් ඇති කරගන්නා තුළ දුක පිළිබඳ පුලුල් දෘෂ්ටියක් ඇතිවේ.

මෙහෙම දුක ගැන හිතන එක කාලකන්නි කමක්ද? නෙගටිව් ඇටිටියුඩ් එකක්ද?

දුක ගැන හිතා දුකෙහි ඇලී ගැලී දත්මදින්නේ නැතුව මූණ හොදන්නේ නැතිව අජවෘත ගෝව්‍රත වඩමින් කාලකණ්නියන් ලෙස සෘණාත්මක ආකල්පයක සිරවී සිටීම බුද්ධාගම ද? නැත. ඔබ ශක්තිය හා පදාර්තයේ ඉපදීම් බිඳවැටීම් හෙවත් අනිත්‍ය දකිනවා යනු ඔබට සමස්තය ගැන පුලුල් වැටහීමක් ගොඩ නැගේ. අනික් මිනිසුන්ටද තමන්ට මෙන්ම ජීවත්වීමට ඇති අවස්ථා සතුටු වීමට ඇති අවස්තා සඳහා ඔබ ඉතසිතින් අනුග්‍රහය දක්වන හැගුමකි. මක්නිසාද යත් මොනා කලත් අවසන මියෙන බව ඔබ ගැඹුරින් දන්නා නිසාය. එලෙස ප්‍රබලව යතාර්ථය පිළිබද පුලුල් දැක්මක සිටීම ගාම්භීර ධනාත්මක මනෝභාවයකි. තමන් අතිශය ප්‍රියකරන දෙයක් වුව අවශ්‍ය මොහොතේ අතහැර හිත ගැඹුරු සතුටක පවත්වා ගැනීමේ ශක්තියකි.

3. අනාත්ම

අනාත්ම යන ලක්ෂණය ගැන හමු වූ හොඳම විග්‍රහය නම් ඉහත පැහැදිලි කළ දුක ඇතිවන්නා වූ හේතුවක් නිසා හටගත් සෑම දෙයකටම උරුම, අනිත්‍ය යන කාරණාව තමාගේ කන්ට්‍රෝල් එකේ හෙවත් පාලනයේ අප අනසකට යටත්ව නොපවතී යන්න 100%ක්ම තේරුම් ගැනීමය.
පදාර්ථයේ හා ශක්තියේ නිමැවුම් වන නාම රූප හෝ හේතු ප්‍රත්‍ය නිසා ලොව හටගන්නා සියලු සංස්කාර ධර්ම හෙවත් අප සිරුර අපගේ සමීපතමයන් අපගේ යැයි හිතා සිටිනා දේපල වෙනස් වී විනාශවී මියපරලව යාම සිදුවේ. ජීවිතයේ අනිවාර්ය සංවේදීතම සංදිස්ථානය වන අනිත්‍ය හෙවත් වෙනස්වීම මරණයයන තැන දී ඔබට මෙය කාටත් සිදුවිය හැක්කක් යැයි පූර්ව දැනුමක් අවබෝධයක් තිබේනම් එම අවස්තාව කළමනාකරණය කරගැනීම ඉතාපහසු වනු ඇත.
කවදා හෝ කොයි මොහොතේ හෝ මියෙන බව දැන සිටීම අනෙකා මරා හෝ තමා හැදීම යන අවගුණ අඩු කර ගැනීමටත්, මරණය ගැන දන්න නිසා එවැනි තීරණාත්මක අවස්තාවල කලබලයකින් තොරව කූල් එකේ වටපිටාව මනාව කළමනාකරණය කරගන්නෙට එවැන් දක්ෂයාගේ මනසට යහපත් කල්පනා පහළවේ. එම යතාර්තවාදී අවබෝධයම ඔබට ජීවිතය සඳහා නව මංපෙත් පවා විවර කරයි.

උදාහරණය - මරණය ගැන ගැඹුරු අවබෝධය යතාර්තය ගැන වූ ධනාත්මක චින්තනයයි.

කලකට ඉහත දී සතර සතිපට්ඨානය නමැති භාවනා ක්‍රමය දිනපතා මාස 2ක් පමණ කලක් සෑම දිනම උදෑනස 4 සිට 6 දක්වා කාලය තුළ ප්‍රගුණ කලෙමි. එහිදී ලැබූ අත්දැකීම් ගැන පසුව කියමි. එහෙත් ඒතුලින් මා තුළ ඇති වූ ජීවිතය ගැන යතාර්තමය අත්දැකීම ජීවිතයේ අතිශය තීරණාත්මක කටුක මොහොතවල් සංත්‍රාසයට පත්ව අවුල් නොවී කූල් එකේ කළමනාකරණය කර ගෙන තවදුරටත් ජීවත් වී සිටීමට අවස්ථාව උදා වූ බව කිවයුතුමය.

කොන්ද බිඳුණත් හිත කෙළින්

එනම් දිනක් මා මෝටර් සයිකලය හදිසි අනතුරකට ලක්ව මහපාර මැද රොකට්ටුවක් මෙන් පතිත වී මාගේ කොන්දේ කශේරුකා කිහිපයක් කැඩී මරණාසන්න විය. කොන්ද මැද සිට ඉහළටත් පහලටත් ගින්දරක් මෙන් ගමන් කළ වේදනාව මෙන්ම කකුල් මාගේ ක්‍රියාකාරිත්වයෙන් තොරවී චලනය වන්නටත් විය. මතුපිටින් සීරීමක්වත් නැතිව තිබුණ ද අභ්‍යන්තරයේ ඇති වී ඇති මහා ව්‍යසනය ගැන මට දැනිණ. ක්ෂණයක් තුළ මාගේ දෑස් නිලංකාර වෙමින් සිහිසුන් වන සෙයියාවක්ද දැනිණ. එහෙත් තත්පර කිහිපයක් තුළ මට සිදුවී ඇති දෙය තව සුලු මොහොතකින් මා මිය යනු ඇත. මෙය කවදා හෝ කොතැනකදී හෝ සිදුවනු ඇතැයිද ගැඹුරු හැගීමක් මාතුළ ඇතිවිය.එසේම මාගේ දරුවන්, පුංචි පුතු, බිරිඳ ආදිය ගැන සිතුන ද, ඒවාට මා කැමති වුව ද අනිවාර්යයෙන් තවසුලු මොහොතකින් අතහැරිය යුතු යැයි තීරණයකට එන්නට සිදු විය. එසේම ක්ෂණයක් තුළ මෙම අවස්ථාව නිවී සැනසිල්ලේ කළමනාකරණය කරගත හොත් මට තව ජීවත්වීමේ අවස්ථාව උදාකරගන්නටත් හැකියැයි සිතිණ.

ගැරඩියාටත් බය එකා තුළ පතාක වීරයෙක්

ඒ අනුව වහා සිහි නැතිවීමට එන සංඥාව පරදා මම රෝහලකට යනතුරු මනා සිහියෙන් යුතුව අවශ්‍ය දෑ සිදු කරමියැයි මටම අදහාගත නොහැකි මහා අධිෂ්ඨානයක් ඇතිවිය. මීයෙක් ගැරඩියෙක් දුටුවත් පැන දුවන කාඩ්බෝඩ් වීරයකු වූ මා තුළ, ජීවිතයේ යතාර්ථයේ සංධිස්ථානයක මෙතරම් හැකියාවක් කෙසේ දැයි මට තාම හිතා ගත නොහැකිය. කෙසේ වෙතත් එතැන රැස්ව සිටියනට මාව ඔහේ ඔසවන්නට නොදී ඔවුනට බිම සිටම ප්‍රථමාධාර ගැන කියා පාර අයිනේ කඩපිළක දිගා කරවා ගෙන මාගේ බිරිඳට, ආයතන ප්‍රධානියාට සහ මාගේ හිතමිතුරකුට දුරකතනයෙන් කතා කර කොඳු ඇට ස්නායු බිඳුණු රෝගියකු ලෙස සීරුවට කොළඹ මහරෝහලේ හදිසි අනතුරු ඒකකයට යාම දක්වා කම්පාවකින් තොරව,කළබලයකින් තොරව සිදුකරගැනීමට හැකිවිණ.

ජීවිතයේ බෝනස් වැළඳීම

එහි ප්‍රතිඵලය ලෙස අදටත් මට ජීවත් වීමේ වරම පමණක් නොව අංශභාග නොවී සාමාන්‍ය මිනිසකු ලෙස ජීවත් වීමේ වරම හිමීකර ගතිමි. එසේ නොවුනානම් රෝහලට පැමිණීමට පෙර එක්කෝ මාගේ කොන්ද සම්පූර්ණයෙන් සුවකළ නොහැකි ලෙසම කැඩී යන්නට තිබිණ. දැන් මා ජීවත් වන්නේ ජීවත් නොවී සිටිය යුතු ආයුසයක් සඳහා ලද ජීවිතයේ බෝනස් එකක බව මම ඉඳුරාම දනිමි.

(7 වන කොටස)

------------------------------------------------------------------------------------------------------------------------
(ඊලඟට- භාවනා කර්මස්ථානය ඇරඹීම යානයක් පැදවීම බඳුය. යානය නිසි ගමනාන්තයට යවන්නට නම් එහි එන්ජීමේ හා ක්‍රියාකාරීත්වයේ ස්වරූප දැන ගැනීමේ විවිධ මීටර හා පාථාංක ගැන අවබෝධයක් තිබිය යුතුය. භාවනාවේ ප්‍රගමනය මනින පාඨංක හොවත් බෝධීපාක්ෂික ධර්ම සීරු මාරු කර ගැනීම ගැන ඊලඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න)

෴සමනොළ෴

No comments:

Post a Comment

සයන්ස් ෆික්ෂන් "Sci Fi" හෙවත් විද්‍යා ප්‍රබන්ධ ගණයේ ලා සැලකෙන චිත්‍රපට, නවකතා, කෙටිකතා හෝ එවැනි නිර්මාණ ඔස්සේ දලුලන සිතුවිලි මානව...