Thursday 18 May 2017

වළියට හේතු සොයා දෙපැත්තටම ජයෙන් ජය විසඳුමකට යන හැටි හෙවත් ගැටුම් නිරාකරණ න්‍යාය

වළියට හේතු සොයා දෙපැත්තටම ජයෙන් ජය විසඳුමකට යන හැටි හෙවත් ගැටුම් නිරාකරණ න්‍යාය

පසුගිය දවසක මට ඕස්ට්‍රේලියාවෙ ක්වීන්ස්ලන්ත ප්‍රජා ජාතිකත්ව කවුන්සිලය විසින් සංවිධානය කෙරුණු ප්‍රජා නායකත්ව සැසියකට සහභාගිවන්න අවස්ථාව ලැබුණා. එහිදී ඕස්ට්‍රේලියානු ගැටුම් අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂක ආචාර්ය ජෝසෆ් හොන්ගොහ් මහතාගේ ගැටුම් නිරාකරණය සම්බන්ධ දේශනයට මාසිත ඇදී ගියා. මොකද එය මතුපිටින් පෙනෙන ගැටුම හා ඉන් ඇතුලාන්තයෙහි ඇති හේතු යුක්ත හදුනාගෙන ඒවාට විසඳුම් දී වඩාත් ස්ථාවර මානව සාමයක් සහජීවනයක් ඇතිකරගැනීම පිළිබද හොද විද්‍යාත්මක ප්‍රෙව්ශයක් ඉදිරිපත් කළ නිසා.

ගෝත්‍රික ගති හලන්නට දැනුම වැදගත්

එය, ලොව විවිධ වාර්ගික ආගමික ගෝත්‍රවාදී සටන් නිසා අවතැන්ව අපහසුවටපත් මිනිසුන් බුරුතු පිටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ විට එකී ජනතාව නිසා මෙවැනි දියුණු සමාජවල ද කිසියම් කලෙක ඇතිවිය හැකි අර්බුදයන්ට මුහුණ දීමේ හොඳ ප්‍රෙව්ශයකි. එවැනි මිනිසුන්ට මෙවැනි සාමකාමී පරිසරයකට ආ විට දැනෙන ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් වටපිටාව තුළ සිට සිය රට දෙස විමර්ශනශීලී මනසකින් බලා චින්තනය පොහොසත් කර ගැනීම වටනේය.

වළියට යටින් ඇති නිධාන කතාව

බලාන ගියවිට වළියක්, ගෝරියක්, වචන හුවමාරුවක්, කුළල්කාගැනීමක්, මිනීමරාගැනීමක් ලෙස මතුපිටට දිස්වන ගැටුමක අභ්‍යන්තර හේතු සාධක පෙනෙන මතුපිටට වඩා මහා විසාලයි. එය මුහුදේ පාවෙන අතිවිශාල අයිස් කන්දක ජලය තුළ සැඟවුණු වඩා විශාල කොටස හා සමාන වනවා. එවැනි ගැටම්කාරී අවස්ථාවක් දුටු විට ඇයි ඔවුන් එළෙස කරනුයේ? යැයි විමසූ විට ගැටුමට මූල් වූ හේතු කාරණා අණාවරණය කරගත හැකියි. එහිදී මූලිකම හා වඩා පහසුවෙන් හදුනාගත හැක්කේ වළියට මුල එක්කෝ ඔවුන්ගේ යම් යම් කැමැත්තක් (ආශාවක්) බවය. ඇයි ඒ ආශාව ඔවුනට අවශ්‍ය? යැයි ඊලඟට ප්‍රශ්න කළ යුතු වනවා. එහිදී එකී ආශාවන් ඉපදුනු සැබෑ ජීවී අවශ්‍යතා හදුනාගත හැකිවනවා. එකී ජීවී අවශ්‍යතා ඔවුනට දිගුකාලීනව ලබා ගැනීමේ මානව අත්‍යාව්‍යයත්වය හඳුනාගෙන, උසස් මිනිසුන් ලෙස ඒවා ඒකාබද්ධ ප්‍රෙව්ශයකින් සාමදානව බෙදාහදාගෙන පරිහරණය කරගැනීම ගැන අදහසකට පැමිණිය හැකි වනවා. එහෙත් එය ප්‍රායෝගික තලයේ දී පහසු නැහැ. නොදියුණු සමාජවල මිනිසුන් බෙදාහදාගැනීම, අනෙකාගේ මත ඉවසීම ඒවාට අනුග්‍රහය දැක්වීම ගරුකිරීම ගැන කිසිදු සාධනීය බවක් නැති නිසා.

ගැටුම් වල මූලික ස්වරූප හඳුනාගමු

එසේම ගැටුම් යන සංකල්පය ගත්විට එය මෙලෙස මූලික මට්ටම් 4කින් යුතුව ඇතිවිය හැකියි.
1. කිසියම් කාරණාවක් හෝ සිතිවිල්ලක් ගැන පුද්ගලයා තුළම ඇතිවන ගැටුම. (Intrapersonal Conflict)
2. පුද්ගලයින් දෙදෙනෙකු හෝ කීප දෙනෙකු අතර ඇතිවන ගැටුම (Interpersonal Conflict)
3. කිසියම් පුද්ගල කණ්ඩායමක් තුළ ඇතිවන ගැටුම (Intra-Group Conflict)
4. කිසියම් පුද්ගල කණ්ඩායම් අතර ඇතිවන ගැටුම (Inter-Group Conflict)

ආත්මාර්තකාමීත්වය හා පරාර්තකාමීත්වය අතර දෝලනය වන විසඳුම තෝරාගනිමු

එහිදී තමන් ගැන සිතීමේ ආත්මාර්තකාමී ලක්ෂණය X අක්ෂයටත්, අනුන් ගැන හිතීමේ පරාර්ථකාමී ලක්ෂණය Y අක්ෂයටත් ගෙන ප්‍රස්තාරගතකර ඒ හැඟීම් දෙකටම සාධාරණ හා අසාධාරණ වන ලෙස, අර කලින් සඳහන් කළ ගැටුමට මුල් වූ ඉතාම ඇතුලාන්තයේ වූ මානවජීවි අත්‍යාව්‍යතා බෙදාගැනීම ගැන අදහසක් ගොඩනගා ගත හැකි වනවා. මෙම විසඳුම් ආකාර 5ක් ලෙස මූලිකව හඳුනාගත හැකියි.

1. මගහැරීම (Avoidance)- 

එනම් ආත්මාර්තය හා පරාර්තය යන දෙකම බින්දුවේය. එකෙක්වත් ඒ ගැන නොසලකා සිටියි. ආ..එහෙනං ඒක තෝම තියා ගනුකො..යනුවෙන් බල්ලන්ට පොල්ලෙලි විසික් කරනවා මෙන් යමක් නොකමැත්තෙන් ලබාදී අත්හැරදැමීමය. මෙයද විසඳුමක් නොවේ.එනම් විසඳුමක් සිදු නොවෙයි.

2.තරගය (Competition)- 

එනම් සිය ආත්මාභිලාශය උපරිම වන අතර අනෙකා ගැන තුට්ටුවකට මායිම් නොකරයි. විසඳුම සාර්ථක නැත.

3. පිළිසරණ (Accommodation)

තමන් ගැන නොසිතා අනෙකාට, අදාළ අවශ්‍යතාව ප්‍රදානය කිරීමය. බෝධිසත්ත්ව ගුණෝපේත දන්දීම මේ ගණයට ගත හැක. අධ්‍යාත්මික දියුණු චින්තනයක් තුළමෙවැන්නක් යහපත් සාර්ථක සේ ගැණුන ද ප්‍රායෝගික තලයේදී මෙය අසාර්ථකය. දන්දීම ගැන දාර්ශනික වදන් දෙන රටවල පවා අනෙකාට යම් සහනයක් සැලසීමේදී කැත්තට පොල්ලමෙන් සිටිනාකාරය අනුව මෙය තේරුම්ගැනීම අපහසු නැත. (කෙසේවෙතත් පුද්ගලිකව මම නම් දානය ප්‍රගුණ කිරීම සමාජය වඩාත් යහපත් වනු ඇතැයි විශ්වාස කරමි)

4. සමථය (Compromise)- 

අවශ්‍යතා දෙකට බෙදා ගැනීමය. නැතහොත් සිය ආර්මාර්ත හැඟුම් අඩක් බිලිදී, අඩක් රැකගෙන, අනෙකා ගැන අඩක් සිතා අඩක් නොසිතා 50ට 50 හෙවත් බාගෙට බාගෙ අදාළ අවශ්‍යතාව බෙදා ගැනීමය. සමහර කාරණාවලදී මෙය සාර්ථකය. එහෙත් සමහර ද්‍රව්‍ය හෝ දේවල් මෙලෙස හරියට දෙකට බෙදාගත නොහැකිය. එවිට මෙයට වඩා ඉදිරිගාමී වෙනත් විසඳුමකට යායුතුය.

5.ඒකාබද්ධතාව (Collaboration)-

වඩා උත්තම විසඳුම වෙත වන මානව ප්‍රෙව්ශය මෙය වේ. සියලු පාර්ශ්ව සිය අවශ්‍යතා පොදු නීතිරීතිවලට යටත්ව එකිනෙකාගේ මානව ගරුත්ව ආරක්ෂා කරගනිමින් ඒකාබද්ධව භුක්ති විඳීමය. ජනවර්ග කිහිපයක් වසන බිම කෑලිවලට කඩා අනෙක්වුන් වෙත පුදා දෙපැත්තකට වී සිටිනවාට වඩා දෙපිරිසම අවශ්‍යතා පරිදි ඒකාබද්ධව ජීවත්වීමය. දියුණු රටවල මිනිසුන්ගේ මූලික අවශ්‍යතා සාධනීය මට්ටමකට සැපීරී තිබෙන නිසා ඔවුන් මෙවැනි වඩා උසස් ජීවන ක්‍රමයක් වෙත නැඹුරු වේ. එහෙත් අධික ජනගහනයකින් යුත් අවම ජීවත්වීමේ පහසුකම් වත් නැති රටවල මෙම අදහසට වඩා ගෝත්‍රික ලෙස කුලල් කාගැනීම් වර්ධනය වේ.

සමාජවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය හමුවන තැනට

කෙසේවෙතත් ඒකාබද්ධතාව යනු පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයය. නැතහොත් පූර්ණ සමාජවාදයය. අවශ්‍යතා අනුව සකළ සම්පත් රටක වූ මූලික නීති රීති සම්ප්‍රදායන්ට අනුකූලව සාධාරණව බෙදාහදා ගෙන, අනෙකාගේ මානව ගරුත්වය රකිමින් ජීවත්වීමය. එහෙත් බෙහෝ නොදියුණු රටවල කිසියම් පිරිසක් හෝ කණ්ඩායමක් මෙවැනි ස්ථීරසාර විසඳුමක් රටේ ගැටුම් විසඳා නිරාකරණය කර ගෙන රට දියුණු කිරීමට උත්සාහ කරන විට, අනෙක් අයවලුන් හුදු වාර්ගික හෝ ආගමික භේද අවුලුවා එය කඩාකප්පල් කිරීම සිදුවේ. එකී රටවල දූෂිත දේශපාලනය සිය පුද්ගලික පැවැත්ම උදෙසා දිගින් දිගටම වාර්ගික ආගමික ගැටුම් අවුලුවාගමින් බලය ලබා ගැනීමේ සෙල්ලම පවතින තුරු අතට අසුවූ විසඳුම් පවා කටට දමා ගැනීමට නොහැකිව විනාස වී යාම තරම් වියෝගයක් මේ තුන්ලෝකයේ තවත් නැත.

෴සමනොළ-෴
16/03/2017

No comments:

Post a Comment

සයන්ස් ෆික්ෂන් "Sci Fi" හෙවත් විද්‍යා ප්‍රබන්ධ ගණයේ ලා සැලකෙන චිත්‍රපට, නවකතා, කෙටිකතා හෝ එවැනි නිර්මාණ ඔස්සේ දලුලන සිතුවිලි මානව...