Thursday 18 May 2017

බවුන් වැඩීම වූ කලි යානාවක් ගමනාන්තය තෙක් ධාවනය කරවීමක් වැනිය

බවුන් වැඩීම වූ කලි යානාවක් ගමනාන්තය තෙක් ධාවනය කරවීමක් වැනිය

මෙහි දක්වා ඇත්තේ ගුවන් යානයක නියමු කුටියේ පින්තූරයකි. මෙහි බැලූ බැල්මට හැමතැනින්ම එක එක ජාතියේ පාඨාංක සටහන් වන මීටර් ගොන්නක් පෙනේ. ඒ නිසා මෙය පැදවීම වූ කලි අතිශය දුෂ්කර බව සිතෙනු ඇත. එහෙත් මෙකී විවිධ පාඨාංක සටහන් මීටර වනාහී අදාල යානයේ සෞඛ්‍ය තත්වය හා එය අවට පාරිසරික තත්ත්ව වලට අනුව උපද්‍රවයකින් තොරව ගමනාන්තයට පදවා යාමට උපකාරක වන බව පැහැදිලිය. ඒ අනුව යමෙක් මෙකී පාඨාංක කියවීමටත් ඒ අනුව රථය ධාවනය කිරීමටත් පුරුදු පුහුණු වූයේ නම් තමන්ගේ විශ්වාසය මත අදාළ පාඨාංක කියවමින් ගමන චූන් එකේ ගිය හැකිය.

භාවනාවද මීටර බලා පාඨාංක කියවා ඩ්‍රයිව් කිරීමකිය

භාවනාව ද එවැනිම වැඩකි. බොහෝ අය එයට අතිශය බිය වෙති. සමහරු ඊට බිය කරවති. එය නම් පව් වැඩකි. යමක් ගැන නිවීහැනහිල්ලේ කල්පනා කර පුරුදු මොළය ඇත්තාට භාවනාවේ යාන්ත්‍රණය අල්ලා ගැනීම සිම්පල්ය. එසේම වාහන පදවා හුරු අය වාහනයේ හීට් මීටර, ස්පිඩෝ මීටර, ඉන්ධන මීටර ආදියේ පාඨාංක ගැන යන්තමින් හෝ දන්නේ නම් ද බේක් ගැසීම හෝන් ගැසීම, සුක්කානම හුරැබුහුටිව හසුරවා පාගා නිරුපද්‍රිතව ගෙනයාමට කුසලතාවක් ඇත්තේ නම් භාවනාව ද එවැනි කුසලතාවක් බව සිතුවාට කිසිදු අවුලක් නැතිය.

භාවනාව එක්සයිස් එකකි.

භාවනාව යනු හොඳටම බුද්ධිමත් අධික ඥානවන්ත ප්‍රාඥයින්ට පමණක් වූ උත්තරීතර දෙයක් බවට සමහරු කියති. එය නම් පට්ට පල් අමූලික බොරුවකි. එවන් ප්‍රඥාවන්තයින්ට භාවනාව ඒතරම් අවශ්‍ය නැතිය. ධර්මකාරණා සැනින් ඔවුනට තේරුම් ගැනීමට ඉතා උස් බුද්ධියක් තිබෙන බැවිනි. එවැනි සූක්ෂ්ම බුද්ධිමහිමයක් ඇති මිනිසුන් උද්ඝටිතඥ සහ විපටිතඥ පුද්ගලයින් ලෙස හැඳින්වේ. ඔවුනට යම් කිසි ගැඹුරු දහමක පේලියක් ඉතා කුඩා සාරාංශයක් මුණ ගැසුණු කල්හී සාකල්‍ය ග්‍රහණය වෙති.

මොලේ නැති අයට මොලේ පාදගන්න ඒකායන ව්‍යායාමය

එහෙත් නෙයිය හා පදපරම පුද්ගලයින් ලෙස හැදින්වෙන මනුෂ්‍ය ලෝකයේ බහුතරයකට යමක් තේරුම් ගැනීමට සෑහෙන්න මහන්සි විය යුතුවේ. ඔවුනට අනිත්‍ය ආදී ත්‍රිලක්ෂණය ද අවබෝධ කර ගැනීඹට බොහෝ වෙහෙස මහන්සි විය යුතුවේ. ඔවුනට එකී කාරණා නැවත නැවත ඉගෙනීම ඒ ගැන විවිධ කෝණ වලින් හිතමින් සමස්ථය සිය මනසට ජීරණය කර ගැනීමට භාවනාව මගින් බ්‍රේන් වොෂ් කරගත යුතුව ඇත. භාවනාව ද බ්‍රේන් වොෂ් එකකි. එය නියම පිළිවලට සිදු කර නොගත්තේ නම් තිබ්බාටත් වඩා අවුල් වනු ඇත.

භාවනාව තනිව කරගන්න බුදුන් දුන් මීටර් පද්ධතිය

ගුරු ඇසුර සහිතව කළ යුතු බව කියන්නේ ඒ නිසාය. එහෙත් ගුරු ඇසුර නැතුව ද එය කර ගෙන නිවැරදි මග යාමට හැකි විද්‍යනු කූල මීටර් පද්ධතියක් බුදුරදුන් විසින් අණාවරණය කොට තිබේ. එකී මීටර හා ඒවායේ අදාළ පාඨාංක ලබාගෙන ඒවා කියවමින් තමාගේ භාවනා කර්මස්ථානය මනරම්ව කරගෙන යාමට අවකාශ ලැබේ. එනම් එය සිය ගුරු තනතුරෙහි ලා සැලකීම ද හොඳම දෙයකි.
එකී මීටර පද්ධතිය සත්තිස් බෝධී පාක්ෂික ධර්ම ලෙස හැඳින්වේ. එනම් කිසියම් මීටර 37ක මීටර පද්ධතියක් ඔබට සපයා දී තිබේ. සතිපට්ඨාන 4, සම්‍යක් ප්‍රධාන 4, සෘද්ධිපාද 4, ඉන්ද්‍රිය 5,බල 5, බොධ්‍යංග 7,මාර්ගාංගයෝ 8 ලෙස ඒවා හැඳින්වේ. මේ එකි නෙක විග්‍රහ කිරීම වූ කලි ඔබට භාවනා කිරීමේ උනන්දුව මෙතනින්ම නැති කිරීමට ද හේතු විය හැකි බැවින්, අවශ්‍ය අය වෙතොත් ධර්ම පුස්තකයක් ගෙන ඒවා සොයා ගන්නට යැයි කාරුණිකව ඉල්ලමි. එහෙත් මෙතැනදී මීටර හා සත්තිස් බෝධීපාක්ෂික ධර්ම අතර ඇති සමානතාව හා එය භාවනාවේදී යොදාගන්නා අයුරු නිදසුන්ක් දෙකක් ඉදිරිපත් කරමි. ඉතිරිය ඔබ ගේ මනසින් අදාළ ධර්ම කාරණා සොයාගෙන ගමනට පිවිසිය හැකිය.

භාවනාවට දුන් (ප්‍ර)බුද්ධ මීටර කියැවීම

වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥාව ආදිය උක්ත බොහෝ කාරණාවලට අයත් භාවනා වඩන්නකුට දී තිබිය යුතු ගුණාංගය. වීරිය යන්න ගත හොත් තමන් අදාල භාවනා කර්මස්ථානය වැඩීමට උත්සාහය හෝ වීර්යක් තිබිය යුතුය. එසේම දිගටම කරගෙන යාමට ටද වීරිය තිබිය යුතුය. අවසන අදාළ ප්‍රතිඵලය ලබාගැනීමට ද එම වීරිය අත්නොහැර ගෙන ආයුතුය. දැන් මෙම වීරිය නමැති මීටරය වාහනයක හීට් මීටරය හා සසඳා බලන්න. එහි දර්ශක කටුව බින්දුවේ තිබී බැරිය. එය තරමක් උස් අගයක තිබිය යුතුය. එසේම වීරිය ඕනෑවට වඩා තිබුණ හොත් අධික වීරිය නිසා හිත සමාධිගත කරගත නොහැකිව භාවනාව අවුල් වේ. එහෙයින් මෙය මධ්‍යස්ථව පාලනකින් යුතුව තබා ගත යුතුය.
එසේම සතර සම්‍යක් ප්‍රදාන ලෙසින් ද මාර්ගාංග විස්තරයෙහි එන සම්මා වායාම හෙවත් වීරිය චෛතසිකය හඳුන්වන කාරණා 4 ද අතිශය වැදගත්වන මීටරයකි. එහි තිබිය යුතු පාඨාංක 4හි සිත පවත්වා ගත යුතුය. එනම්,
1. උපන් පාපයන් නසනු පිණිස වීරිය වඩනු
2. නූපන් පාපයන් නූපදීමට වීරිය වඩනු
3. උපන් කුසල් වැඩි දියුණු කිරීමට වීරිය වඩනු
4. නූපන් කුසල් සිතුවිලි ඉපිදවීමට වීරිය වඩනු
------------------------------------------------------------------------------------------------------------------------------
මේ වන විට භාවනා වැඩීමට පුද්ගලකු දැනගෙන සිටිය යුතු යම් යම් දැනුම කොටසක් දැක්වූයෙමි. එහෙයින් ඊලඟ ලිපියෙන් සමථ භාවනාව වැඩීම සම්බන්ධයෙන් කතා කරමු.

(8 කොටස)

෴සමනොළ෴

No comments:

Post a Comment

සයන්ස් ෆික්ෂන් "Sci Fi" හෙවත් විද්‍යා ප්‍රබන්ධ ගණයේ ලා සැලකෙන චිත්‍රපට, නවකතා, කෙටිකතා හෝ එවැනි නිර්මාණ ඔස්සේ දලුලන සිතුවිලි මානව...