Thursday 18 May 2017

ශක්තිය හා පදාර්ථ (නාම රූප) අනිත්‍ය වන හැටි

ශක්තිය හා පදාර්ථ (නාම රූප) අනිත්‍ය වන හැටි

රූප

රූප යනු විද්‍යාවේ දැක්වෙන පදාර්තය බව පැහැදිලිය. බුදු දහමට අනුව සතරමහා භුතයින්ගෙන් හටගත් දේවල්ය. ඇස,කණ,දිව,නාසය,ශරීරය කොටස් ඉන් නිර්මාණය වී ඇති අතර සිත(මෙය ශක්තියක් විය යුතුය) මේවා සමායෝජනය කරමින් පවතී.

නාම

නාම යනු 1.විඳීම(වේදනා), 2. හඳුනාගැනීම(සංඥා), 3.චේතනා(චේතනාව), 4.පස්ස(ස්පර්ශය), 5. ක්‍රියාකාරීව සිත පැවැත්වීම(මනසිකාර) ලෙස දක්වා තිබේ. මේවා හුදෙක් පදාර්ථයෙන් වියුක්ත ශක්ති කොටසට ගත හැකි ධර්ම තා බව හැගේ.

පංචස්කන්ධය හෙවත් පංච උපාදාන ස්කන්ධය

සත්වයකු හෝ ජීවියකු ස්කන්ධ පංචකයක් හෙවත් ස්කන්ධ 5ක් ලෙස බුදු සමයේ දැක්වේ. ස්කන්ධ කීවිට එය කාලය හා අවකාශය හෙවත් ඉඩහසර තුළ පැවතිය යුතුය. (එහිදී කාලය යනු අතීත වර්තමාන හා අනාගත වශයෙන් වේ. අවකාශය අධ්‍යාත්ම, බාහිර, ගොරෝසු, සියුම්, කුඩා-විශාල, යහපත් අයහපත්, දුර-ලග වශයෙන් විවිධය.)
එහෙත් පංචස්කන්ධය යනු නාම රූප නොවන බව ද දැක්වේ. එහෙත් පංචස්කන්ධය ද පදාර්ථය හා ශක්තිය ලෙස, නාම රූප මෙන්ම වෙන් කළ හැකි ය.
1.රූප- මූලිකව පදාර්ථයෙන් තැනේ
2. වේදනා- විඳිම (සුඛ/දුක්ඛ/උපේක්ඛා)
3.සංඥා- හඳුනා ගැනීම
4. සංඛාර- හඳුනාගැනීමට අනුව විවිධ චේතනාවන් පහළ කරගැනීම(ගැඹුරු මාතෘකාවකි)
5.විඤ්ඤාණ- සිතෙන් යමක් දැන ගැනීමේ ස්වභාවය
(පංච උපාදානස්කන්ධයේද රූප හැරුණු කොට අන් සියල්ලම ශක්ති පදාර්ත ගණයට ගත හැක)

රූප ඇතිවී නැතිවේ මෙලෙසේ

පෙර ලිපියෙන් දැනුවත් කළ පරිදි උපපරමාණුක අංශුවක් තරම් යැයි සැලකිය හැකි රූපකලාපය ඇතිවී, පැවතී නැතිවී යාමත්, ශක්ති පදාර්ථයේ කුඩාම තැනුම් අංශුව ලෙස සඳහන් චිත්ත කලාපය එලෙසම ත්‍රිලක්ෂණයට බදුන් වීමත් පළමු ප්‍රස්තාරයේ පැහැදිලිව දැක්වේ.

රූප හා චිත්ත කලාපයක කාලය තත්පරවලින් ගතහොත්?

රූප කලාපයක් ඇතිව පැවත නැතිවීමයාම(ත්‍රිලක්ෂණය සැපිරීම) චිත්තක්ෂණ 17ක කාලයක් තුළ සිදුවන බව පැවසේ. චිත්තක්ෂණය යනු තත්පරයකින් කෝටියකින් එකක් තරම් අතිශය සියුම් කාලයක් යැයි ද සඳහන් වේ. ඒ අනුව මයික්‍රො තත්පර 1/10ක් චිත්තක්ෂණයක් වෙතැයි සිතිය හැක.
එසේම රූප කාලාපයට සාපේක්ෂව 17 ගුණයක් සීග්‍රයෙන් චිත්ත කලාප ඇතිවී පැවත නිරුද්ධ වීම සිදුවේ. එනම් චිත්ත කලාප 17ක් ඇතිවී නැතිවී යන තෙක් තරමක් දිගු ආයු කාලයක් රූප කලාපයට තිබේ. මේ අනුව තත්පරයකින් මිලියන ගාණකින් පංගුවක් යනු අපගේ ඉන්ද්‍රියන්ට කිසිදු ලෙසකින් ගෝචර නොවන ඉතා කුඩා කාලයකි.

ඇතිවී නැතිවීම අපට නොපෙනෙන්නේ ඇයි?

තවදුරටත් රූප කලාපයක් හෝ චිත්ත කලාපයක් ඇති වී නැතිවී යන විට ඔවුන්ගේ පැටවුන් ලෙස ඒ හා සමාන රූප කලාපත් චිත්ත කලාපත් නිපදවා නිරුද්ධ වෙතැයි පැවසේ. මේ නිසා එහි අසංතතියක් (කැඩි කැඩී යාමක්) තිබුණත් කිසියම් සංතතිතක (අඛණ්ඩව පැවතෙන) බවක් අපට දැනේ.
එසේ නොදැනෙන්නට අපේ පංචේන්ද්‍රිය එකි සංඛ්‍යාතයේ දෑ දැකීමට තරම් ටියුන් වී නැත. එය ටියුන් කර ගත හැකි මාර්ග අතර ධර්මය විද්‍යාව හැදූරීම මෙන්ම භාවනාවද වැදගත්ය.
එසේම මෙම ප්‍රස්තාර ඔබ හොදින් නිරික්සන්නේ නම් ඔබට රූප කලාප වලත් චිත්ත කලාප වලත් පවතින එකී අසංතතික බව තේරුම් ගත හැකිය. තත්පරයටත් අඩු කාලක සිදුවන එවැනි අසංතතික ලක්ෂයයන් අපට සංතතිකව දෘෂ්‍යමාන වීම හෙවත් පදාර්ථයේ හා ශක්තියේ ක්ෂණික මරණය යන සංකල්පය අපට තේරුම් ගත හැක.
එසේම පෙර ලිපියේ සඳහන් කළ පරිදි පදාර්ථයේ හා ශක්තියේ, සම්මුතිය හා සැබෑ යතාර්ථය හෙවත් පරමාර්තමය සත්‍ය අපට වටහා ගත හැකිය.

අසංතතිය හා මායාව හදුනාගැනීමට චිත්‍රපටයේ තාක්ෂණය 

ඒ ගැන හිතන්නට ඔබට තවත් කුඩා උදාහරණයක් කියමි. චලන චිත්‍රය හෙවත් චිත්‍රපටයේ තාක්ෂණික ස්වරූපය ගැන ඔබ ඉගෙන ගෙන ඇති නම්, කිසියම් චලනයක් ප්‍රක්ෂේපණය කිරීමට අදාලව අනුයාතව ඡායාරූප ගත කළ රූප රාමු 38ක් 42ක් පමණ තත්පරයක් තුළ සිනමා ප්‍රොජෙක්ටරයේ කවුලුව හරවා චලනය කරවිය යුතුය. එවිට ඒ හරහා ගලන ආලොක කදම්භය මගින් තිරය මත නලු නිළි රංගන තාත්වික ස්වරූපයකින් දිලේ. එය සැබවින්ම මායාවක්මය.
එසේම අප පසදුරන්ට ලැබෙන දෘෂ්‍ය හෝ ශ්‍රව්‍ය සංඥාවක් තත්පරයෙන් 1/18කට ආසන්න කාලයක් මතකයේ රැඳී පවතී. ඒ කාරණාව නිසා චලනචිත්‍රය හෙවත් චිත්‍රපටය කිසිදු කඩ වීමකින් තොරව මෘදුව ගලායන රූප පෙලක් සේ අපට දිස්වේ. රූපවාහිනී පරිගණක ආදී තිරවලද මෙකී සිද්ධාන්තය පදනම් කරගත් තාක්ෂණයකින් අපව මායාවකට හසුකර ගෙන තිබේ. එලෙස යතාර්තය අවබෝධ කර ගැනීම භාවනාවේ සුන්දර ගතික හැකියාවක්මය.

(6වන කොටස)


෴සමනොළ෴

No comments:

Post a Comment

සයන්ස් ෆික්ෂන් "Sci Fi" හෙවත් විද්‍යා ප්‍රබන්ධ ගණයේ ලා සැලකෙන චිත්‍රපට, නවකතා, කෙටිකතා හෝ එවැනි නිර්මාණ ඔස්සේ දලුලන සිතුවිලි මානව...