Thursday 18 May 2017

මම හාල්පාරුවෙක්මි. ඔබ...?

මම හාල්පාරුවෙක්මි. ඔබ...?

යම් කිසි කර්තව්‍යයක වගකීමකින් තොර ඊට කිසිදු අදාලත්වයක් නැති පුද්ගලයින් එකී කාර්යයවටා අනියමින් එකතුවන විට ඔවුන් හාල්පාරුවන් යැයි නවීන සිංහල භාෂාවේ ව්‍යවහාර වේ.
මේ ගැන මුලින්ම ගීතයකින් ආමන්ත්‍රණය කරමින් හාල්පාරුවා යන්න විග්‍රහ කිරීමක් 1979-80 කාලයේ නිහාල් නෙල්සන්ගේ බයිලා ගීතයක තිබිණ.

ප්‍රතිපත්ති සැලසුම්කරණයක දී හාල්පාරුවන් ඈඳාගැනීම?

එහෙත් ඇත්තෙන්ම ඉතාමත් විදග්ධ ප්‍රොෆෙෂනල් උදවිය සංවිධානය කළ කිසියම් අරමුණක් සහිත වැඩයක එනම් නිදසුනක් ලෙස ප්‍රතිපත්ති සැලසුම්කරණය වැනි කර්තව්‍යයක වුව ද අවුල් තැන් දෝශබෝෂ නිරාකරණය කරගෙන එමගින් උපරිම කාර්යක්ෂමතාව සහිත වැඩ සටහනක් නිමවා ගැනීමේ දී ඔන්න ඔය හාල්පාරුවන්ගේ සහය එදත් අදත් අතිශය වැදගත් වී ඇති බව ඔබ නොදන්නවා විය හැකිය. හාල්පාරුවන්ගේ එකී පිරිමැසිය නොහැකි තරමේ දායකත්වය නිසා අතිසාර්ථක වූ කටයුතු මෙන්ම පූර්ණ ලෙස නවතා දමා පාඩු අවම කරගත් වැඩ පිළිවෙලද ඕනෑ තරම් තිබේ. එහෙත් කිසිදිනෙක හාල්පාරුවන්ගේ සේවය ඇගයීමක් මෙතෙක් සිදුකර නැතිවීම ජනසමාජයේ ප්‍රගමණය පතන උගත් නූගත් වෘත්තිමයවූ හා නොවූ සෑම දෙනෙකුගේම අඩුපාඩුවකි.

නිහාල් නෙල්සන්ගේන් මා උගත් මැනේජ්මන්ට් ලෙසන් එක

කෙසේහෝ වරෙක ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ තොරතුරු හා මාධ්‍ය නිලධාරියා ලෙස මහාචාර්ය හරේන්ද්‍ර සිල්වාණන් සමග සේවය කළ වකවානුවේ දී ළමා ආරක්ෂාව පිළිබඳ සංකල්ප ලාංකේය සමාජය තුළට ගෙනයාමේ විවිධ කටයුතු සංවිධානය කිරීමට දායක වීමට අවස්ථා ලැබිණ. ළමා ආරක්ෂාවේ විවිධ සංවේදී කාරණා ආවරණය කරගනිමින් විවිධ තේමා ඔස්සේ දිවයිනේ ප්‍රවීණ ගීත රචකයින් ගායක ගායිකාවන් යොදා ගනිමින් සංයුක්ත තැටියක් නිපදවිණ. ඊට සඳ තරු මල් යැයි පූජ්‍ය රඹුකන සිදත් හිමියන් විසින් නම් තැබිණ. වික්ටර් රත්නායක, ගුණදාස කපුගේ, නන්දා මාලනී, මාලනී බුලත්සිංහල, සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි,සුනිල් එදිරිසිංහ, නීලා වික්‍රමසිංහ,දීපිකා ප්‍රියදර්ශනී පීරිස්, ප්‍රදීපා ධර්මදාස, භාතිය සංතූෂ්, සුනිල් පෙරේරා, නිහාල් නෙල්සන්, රාණි ජොශප්, පසුකලෙක ජනප්‍රිය තරුවක් වූ මීනා ප්‍රසාදිනී ළමා ගායිකාව, ගෝපි ක්‍රිෂ්ණන් ඇතුලු විවිධ ආරේ ගීත ගයන ගායක ගායිකාවන් රැසකගේත් ගීත රචකයින් රැසකගේත් ස්වේච්ඡාමය දායකත්වයෙන් එම ගීතැටිය සැකසිණ.
ඉතින් එහිදී නිහාල් නෙල්සන් ගායකයාණන් ළමා අතවරය ගැන වේවැල් කෝටු නාරන් සිඹලා අතූ ලෙස ඇති වදන් කවි පෙතේ කවිය ඈදා ජයසිංහ විජයරත්නයන් විසින් කළ පදමාලාවක් සංගීතවත් කර පටිගත කිරීමේ දිනයේ කටයුතු සූදානම්වන තුරු ශබ්දාගාරයේ එළියේ කොරිඩෝව අසල සිටිද්දී නිහාල් නෙල්සන් මහතා ගේ සුන්දර ඇසුර ලැබීමට හැකිවිය. එය තවමත් මගේ මතකයේ රැව් පිළිරැව් දෙන අතර පීචං ගායකයකු ලෙස හංවඩු ගැසූ එතුමා තුළ මහා ගැඹුරු දර්ශනයක් වෙතැයි මට කල්පනා වේ. එකී සංවාදය පහත පරිදිය.

නිහාල් නෙල්සන්-

සමනොළ දැන් මේ වගේ වැඩක් කරන කොට වැඩිම වැදගත් එකා කවුද?


මම-(කල්පනා කරමි)


නිහාල් අයියා - හාල්පාරුවා


මම- ඈ


නිහාල් අයියා-

ඔයා නෙවෙයි. ඔයා ඇවිත් මේ රාජකාරිය භාරව ඉන්න නිලධාරියා.. වගකීම ඔලුවෙ... ඔයාට ඕනෙ කාලෙ ඉතිරිකරන් ඉක්මණට මේක ඉවරයක් කරගන්න. ඉතින් මම ගයන ගීතයෙ අඩුපාඩුවක් ඇහුවත් ඔයා නෑ නිහාල් අයිය ඒක හොඳයි කියනව මිසක් වරදක් කියන් නෑ.. ඒක සතපහක වැඩක් නැති වැඩක්..

මම- 

එතකොට හාල්පාරුව කිව්වෙ?

නිහාල් අයියා-

අන්න හරි හාල්පාරුව තමයි ඒකට ඉතාම වැදගත් චරිතය. ඌට මේකෙ කිසිම බරක්පතලක් නෑ. කැසට් එක ගැහුවත් එකයි නැතත් එකයි. අපි උදාහරණයක් ගම්මු.. මේ ඉන්නෙ ඔයා එක්ක මේ ඇවිත් ඉන්නෙ (නිහාල් අයියා මා සමග පැමිණි කාර්යාලයේ සේවක මහතාව පෙන්වයි) අන්න මූ හාල්පාරුවා. ඌ සර් එක්ක ආවට සරිගෙ වැඩේ ගැඹුර දන් නෑ. බය නැතුව කමෙන්ට් එක දෙනවා.
මගෙ සිංදු රෙකොඩ් කරන කොට ඔය වගේ හාල්පාරුවො ඉන්න කොට මං හරි කැමතියි. ඒ අය මයෙ සිංදුව අහල අන්න එතන නම් හරි නෑ නිහාල් අයිය කියල මූණටම කියනවා. ඌ තමයි මගෙ සහෘදයා. ඌ තමයි මගෙ ටාගට් ගෘප් එක... ඒකා කිව්ව දේ හරියට කලා නම් සිංදුව හිට් වෙනව ෂුවර්...

හාල්පාරුවෙක් ලෙස අභිෂේක ලැබීම සතුටකි


අද මම ද රටින් එතෙරව නිදහසේ වෙසෙමි. දැන්නම් මමත් නියම හාල්පාරුවෙකැයි සිතේ. ලංකාවේ ඕනෑ ජගතෙක් ගැන විවෘත කමෙන්ට්ස් විවේචන දැමීමට කිසිදු චකිතයක් නැත. එහෙත් තමන් වඩා උත්තමයැයි හිතා සිටින ලාංකේය සමාජයේ බොහෝ සර්වතොභද්‍ර පොරවල් වලට මා වැනි හාල්පාරුවන් මළ වාතයකි. එය මට සතුටකි. මක්නිසාද යත් මම දැන් වචනයේ පරිසමාප්තාර්තයෙන්ම නිදහස් අදහස් ඇති මිනිසකු හෙවත් හාල්ම හාල්පාරුවෙකු බැවිණි.


෴සමනොළ෴

No comments:

Post a Comment

සයන්ස් ෆික්ෂන් "Sci Fi" හෙවත් විද්‍යා ප්‍රබන්ධ ගණයේ ලා සැලකෙන චිත්‍රපට, නවකතා, කෙටිකතා හෝ එවැනි නිර්මාණ ඔස්සේ දලුලන සිතුවිලි මානව...