Thursday 18 May 2017

ළමා ආරක්ෂාව සඳහා වූ නීති ගුරුවර වැඩිහිටියනට වාතයක්ද?

ළමා ආරක්ෂාව සඳහා වූ නීති ගුරුවර වැඩිහිටියනට වාතයක්ද?

ළමයින් හික්මවීම කලාවකිය. සාම්ප්‍රදායිකව දරුවන් මෙල්ල කිරීම පිණිස කායික දණ්ඩනය පදනම් කරගත් ක්‍රමවේදයක් මගින් ඔවුහු කායික හා මානසික පීඩාවන්ට පත්කොට තාවකාලිකව මෙල්ල කළහ.

වේවැල් කසාය අත්දුටුවයි? සනීපයි ද?

පාසැලක සියගණන් වූ දරුවන් රංචුව පාලනය කරගැනීම පිණිස වේවැල් කසාය දුරාතීතයේ සිට පැවත ආ නිසා එය එකම නිවැරදි ක්‍රමය ලෙස සමාජගත වී තිබිණ. එහෙත් බුදු සසුන මෙන්ම බොහෝ ආගම් වල ඉගැන්වීම අනුව ද පුද්ගලයකු දමනය කිරීම කළ යුත්තේ පළමු කොට ඔහුගේ සිත හික්ම වීමෙනි. කරුණාව මෛත්‍රිය මෘදු බව ඉවසීම ආදී යහපත් ගුණාංග ගුරුවරයා විසින් පළමු කොට ඇති කරගෙන සිසුන් හික්මවීම එහි ක්‍රමවේදයයි. එය තරමක් අසීරු කටයුත්තක් වුව ද පොල්ලෙන් ගසා දඩුවම් දී හදන විනයට වඩා ස්ථාවරය. එහෙත් සමාජය වඩාත් පහසු මගම යන්නේය. පොලුපාර දෙන්නේය.

ළමා ආරක්ෂක නීති තාම හරියට පැල වෙලා නැද්ද?

ඒ අනුව 1994න් පසු ළමා ආරක්ෂාව පිළිබඳ ලාංකේය සමාජය තුළ නෛතික වශයෙන් ස්ථාපනය වන ළමා ආරක්ෂක නීති තවමත් සමාජය තුළ නිවැරදි දිශානතියෙන් වැඩේ දැයි ගැටලුවකි. ආපෝ ඕකුන් ඕන මගුලක් කරපු දෙන් ඕවට දඩුවම් දෙන්න ගිහින් හිරේ යන්නෙ මොන මගුලට දැයි ගුරු සංහතියේ බහුතරය පසුබා සිටින සෙයකි.

කායික දඩුවමින් තොර නිර්මාණශීලීත්වය

එහෙත් කායික දඩුවමින් තොරව දරුවන් හික්මවන්නේ කෙසේද? ඒ ගැන අලුත් කතිකාවක් සමාජ ගතවිය යුතුය. කායික දණ්ඩනය නිසා ළමා නිර්මාණශීලීත්වය මොට වී, වෛරය, පළිගැනීම යන අවගුණ යහපත් දේයැයි අදහන සමාජක්‍රමයක් බිහිවීම යන කාරණාව නතර කර වඩා පුලුල්ව නිදහසේ හිතන අනෙකාගේ අයිතිවාසිකම ගැන ද වදවෙන සංවේදී ජනසමාජයක් ගොඩ නැගීම අවැසිය. වැඩිහිටියන්ට මෙන්ම ගුරුවරයාටද මෙහිදී ගැඹුරු භූමිකාවක් වගකීමක් තිබේ.

ගුරු භූමිකාව බලගැන්වීම

මෙහිදී වඩා පුලුල් ගුරු භූමිකාවක් බලගන්වන්නේ කෙසේදැයි අධ්‍යාපන පිඨ, ගුරුවරුන් පුහුණු කරන අධ්‍යාපන වේදී විශේෂඥයින් සැලසුම් කළ යුතුය. මෙහිදී බුදු රජුන් වැනි අහිංසාවාදී දාර්ශනිකයන් සිය අනුගාමිකයින්ට යහමග පෙන් වූ මූලධර්ම ක්‍රමවේද තාක්ෂණය ගැන වඩා විද්‍යනුකූල ගවේශනයක් තුළින් ගුරු පුහුණු පෝෂණය කළ යුතුය.

ගුරා හිට ගෙන කරද්දි ගෝලයා දුව දුව කරයි

එසේවන්නේ, ළමයා නිවැරදි කරන්නට පෙර ගුරා නිවැරදි තලයක පිහිටා සිටිය යුතු බැවිනි. ගුරා නිවරදි තලයක පිහිටන්නේ, ඔහුට ඉහලින් ඇති විදුහල්පති නිවැරදි තලයක පිහිටන්නේනම්ය. විදුහල්පති නිවැරදි තලයක පිහිටන්නේ අධ්‍යක්ෂක, ඇමතිවරයා අගමැතිවරයා ජනාධිපතිවරයා වශයෙන් ළමයාට ඉහලින් ඇති සකළ වැඩිහිටි හයිරාකිය ද නිවැරදි තලයක පිහිටන්නේනම්ය.

ඔඩු දුවපු තුවාලේ කොස්ස අයින් කිරීම?

එහෙත් දැන්මේ ඔඩු දුවා ගිය තුවාලයට කොතනකින් හෝ සුව කිරීමට ඉන්ජෙක්සන් එක දිය යුතුව තිබේ.

෴සමනොළ෴

No comments:

Post a Comment

සයන්ස් ෆික්ෂන් "Sci Fi" හෙවත් විද්‍යා ප්‍රබන්ධ ගණයේ ලා සැලකෙන චිත්‍රපට, නවකතා, කෙටිකතා හෝ එවැනි නිර්මාණ ඔස්සේ දලුලන සිතුවිලි මානව...