Thursday 18 May 2017

ඇණකොටා ගන්නවාට වඩා, නිසලව හිත සමඟ පොරබැදීම ගේමකි

ඇණකොටා ගන්නවාට වඩා, නිසලව හිත සමඟ පොරබැදීම ගේමකි.

පුංචිකාලෙ ක්‍රිකට් ගැහිලි, ඔට්ටු සෙල්ලං කිරිලි, එල්ලෙ ගැහිලි වගේ ක්‍රීඩා වල දවස පුරා ගත කළ ද භාවනා කිරීම විනාඩි දෙක තුනකට වඩා කිරීම මහා බරපතල අභියෝගයක් විය. ඒත් ඉර්ධි බලෙන් උඩින් යාමේ ආසාව නිසා භාවනා කිරීම විනාඩි 20ක් තිහක් පමණ කිරීමේ කුසලතාව ඇති කරගන්නට සමත් වුව ද, තත්පර කිහිපයක් ඇතුලත එරමිණිය ගොතා ඉන්නා ඉරියව්වෙන් භාවනා යෝගියකු සේ පිටට දිස් වුව ද හිත තබාගත් අරමුණේ තබා අහලකවත් නැතිය. මුලදී කියවු බොහෝ පොත්වල අනාපාන සතිය වැඩීම හොඳම සමථභාවනාවක් ලෙස පෙන්වා දී තිබීම අනුව එයම ප්‍රගුණ කලෙමි. එහෙත් හුස්ම ඉහළ පහල යාමම ගැන හිතීම මහා බෝරිං මළ වාතයකි.

කමකට නැති සරල අරමුණක හිත ගාල්කර තැබීමෙන් හිත දියුණු වේද?

ඇත්තටම මෙලෙස කිසි කමකට නැති සරල පුංචි එක අරමුණක හිත ගාල්කර නිශ්චල කිරීමෙන් වන මහා සැපත කුමක්දැයි බොහෝ වර සිතේ. සමහර විට දහම්පාසැල් ගිය විට මෛත්‍රී භාවනාව කරන්නට නියම වෙයි. එය තමා හා අනුන් ආදී අරමුණු කිහිපයකට හිත දුවවමින් මෛත්‍රී චේතනාව වෙත ෆෝකස් කරයි. සමහරු බුදු ගුණ එකිනෙක සිහිකර ඒවා ගැන හිතමින් හිත එකඟ කරගැනීමට සිතති. එහෙත් බුදුගුණ කටපාඩම් වුවද ඒවායේ සැබෑ අරුත්ගැන ගැඹුරු වැටහීමක් නැති තැන ගිරවකු මෙන් ඉතිපිසෝ භගවා පාඨය කීම මිස ගැඹුරු සමාධියක් ලැබුණිදැයි මතක නැත. කෙසේවෙතත් මෙකී ව්‍යායාමය හිතට ගතියක් ගෙන දෙන වැඩක් බව තේරුම් ගැනීමට බොහෝ දැනුම හා භාවනා කිරීම ප්‍රගුණ කිරීමෙන් යාන්තමින් හෝ වැටුනේ සෑහෙන කලකට පසුවය. එසේම භාවනාව ගැන උපදෙස් දෙන බොහෝ අය පොතේ ඇති දේ ගෙඩි පිටන් විග්‍රහ කරනවා විනා ඒ අය එම උපදෙස් වලින් අත්පත් කරගත් යමක් කියා දෙන්නෙ නම් ඒ ඉතා කලාතුරකිනි.

බුදුන්ටත් වඩා පැරණි භාවනාව ගැන ශිල්ප ක්‍රමය බුදුන් ප්‍රතිනිර්මාණය කිරීම

භාවනාව යන විෂයට අතගැසූ විට ඒහා සබැදි බොහෝ ධර්ම කාරණා හෙවත් භාවනාවේ තාක්ෂණික පැති ගැන අධ්‍යයනය කළ යුතු විය. ඒ තාක්ෂණික ක්‍රම වේදයන් අතිශය පැරණිය. බුදුරදුන් ලොව පහළ වීමට පෙර සිටම ලෝකයේ භාවනාව විෂයක් ලෙස පැවතීණ. ඒවා හුදෙක් සමථ භාවනාවන් වූ අතර සිදුහත්වු තවුසාණෝ ඒවා ප්‍රගුණ කර ඉපදීම ලෙඩවීම මියයාම වැනි කාරණා අතික්‍රමණය කිරීමට හෙවත් දුකින් මිදීම පිණිස මේ ශිල්පීය ක්‍රමය යොදාගන්නෙ කෙසේදැයි අත්හදා බැලූහ. එහි ප්‍රතිඵලය ලෙස එකල ව්‍යාප්තව පැවති සමථ භාවනා ක්‍රමයට වඩා වෙනස් විදර්ශනා භාවනාව නමැති භාවනා ශීල්පක්‍රමය ඇතිවිය.

භාවනාවේ විෂය මූලික කරුණු සංකල්ප ද සොයා යමුද?

මෙයින් පසුව ඔබට බුද්ධ දර්ශනයේත් සමහර විට හින්දු දර්ශනයේත් පදනම් වූ යම් යම් භාවනා ක්‍රමයන් හා ආශ්‍රිත මූලික සංකල්ප ගැන සංවාදාත්මකව සාකච්ඡා කළ හැකිය. එවිට පාඨකයින්ට ද මෙය නීරස නොවී කිසියම් ප්‍රබුද්ධ උනන්දුවක් ඇතිවේවා යැයි පතමි.
(2 කොටස)
෴සමනොළ෴

No comments:

Post a Comment

සයන්ස් ෆික්ෂන් "Sci Fi" හෙවත් විද්‍යා ප්‍රබන්ධ ගණයේ ලා සැලකෙන චිත්‍රපට, නවකතා, කෙටිකතා හෝ එවැනි නිර්මාණ ඔස්සේ දලුලන සිතුවිලි මානව...