Thursday 18 May 2017

පංතිය යනු කුළය ද?


ලංකාවෙ ජනසමාජය පුරා ඔඩුදුවා ගිය දහසක් ප්‍රශ්න සියල්ලේ හේතු ඵල විමසීමේදී මේ පන්ති භේදය කියන එක ප්‍රබල මාරකයක් බව පෙනෙනවා. ඔය පන්තිය කියන්නෙ දුප්පතා පෝසතා හෝ උගත් නූගත් යන කාරණාවට වඩා ලංකාවේ පැවති වැඩ වසම් කුළ ක්‍රමය ද කියල හිතෙනව.

සිංහනාද වුනාට ජාන ඉන්දියාවෙ

මහා ලොකු සිංහයො කිව්වට දකුණු ඉන්දියාවෙ කේරලේ මිනිස්සුන්ගෙ කපාපු පලු වගේ එකම ජාන ඇතිව ඉන්න ලංකාවෙ මිනිස්සු තුළ තාමත් යටි පෙලේ මාර විදියට මේ කුළ භේදෙ තියෙනව. සමහර පීඩනයට පත්වුන කුළ වල උගතුන් ඇතුලු සමාජයේ පිළිගත් අය විසින් ඔවුන්ගේ කුළ සමිති සම්මේලන පවා සංවිධානය කරනව. මේක මහ විළිලැජ්ජනැති රටක් අප්පා.

කක පුසගන්න නිය පොත්ත නැතත්

දරිද්‍රතාව උපරිමයට ගිහින් පුග කහගන්න නියපොත්ත නැති කුලවතා, සල්ලිකාර බලවත් කුලහීනයැයි කියන උදවිය හමුවේ සල්ලං වුන ද අපෝ උං අර ජාතියෙන කියල පොඩි මහන්තත්ත ආතල් එකක් ගන්නව. මේක මාර කුණු රහ වැඩක්. කුලේ හීන එකා එක්කො සල්ලිකාරයෙක් වෙන්න ඕනෙ. නැත්නම් උගතෙක් වෙන්න ඕනෙ. සමහර විට එහෙම වුනත් කුල පීඩනයෙන් තලන විට ඒ මිනිහට ඇතිවන හැගීම ගැන මනුස්සයො විදියට දකින බෞද්ධ සමාජයක් මේ රටේ නැහැ.

සුද්දට පස්සෙ ජෙප්ප

සුද්ද ඇවිල්ල කුල ක්‍රමය කුරුවල් කලාට අඩු කුලේ අය සල්ලිකාර බලවතුන් වුනාට සමාජයෙන් මේ කුල පීඩනය තුරල් වුනේම නැහැ. 1970 ඇරඹුණ ජවිපෙ කැරැල්ල ද මේ කුළ පීඩනයි, රටේ උගත් දුප්පත් මිනිසුන්ගෙ නැගිටීමක් බව තාම සමාජය හදුනා ගෙන නැති හැඩයි.

මොන ජාතියෙන් හරි සල්ලිකාරයෙක් වීම

දුප්පත් කුලයෙන් අඩු මිනිසුන් මොන ජාතියෙන් හරි සල්ලි හොයල සල්ලිකාරයෙක් වෙලා සිය කුළ පීඩනය දුරුකරගන්න බලනවා. ඒත් බැලුවහම ඔය උසස් පහත් හැම කුලේම උන් සම සමව දුගී දුප්පත් එවුන් බව අමතක කළ යුතු නැහැ. ඒනිසා හැම එකාම තම තමනට තියන දුප්පත්කම යන තැනයි සමාජයේ පිළිගන්නා මිනිසකු වීමට බල්ලො මරල හරි සල්ලි හොයනව.
මේ ආකාරයට සමාජය යටින් තමන්ගෙම රටේ මිනිස්සු තම සහෝදර ජනතාව සමග කුළ මල හෝ උගත් නූගත් හෝ දුප්පත් පෝසත් හෝ කවරනම් හෝ පන්ති භේදෙ පවතින තුරු මේ රට දියුණු වෙන පාටක් නම් නැත.

ඕස්ට්‍රේලියානු මල්ටිකල්චරල් ප්‍රවේශය

ඕස්ට්‍රේලියාව වැනි දියුණු ජනසමාජවල පවතින මල්ටි කල්චරල් හෙවත් බහු සංස්කෘතික පසුබිම තුළ මනුෂ්‍යත්වය යන තැනට පමණක් මුල් තැන ලැබෙනව. ජාති වර්ග කුළ ලෙස මිනිසුන් ගැරහීම ඩිස්ක්‍රිමිනේෂන් හෙවත් වර්ගය අනුව අසාධාරණ ලෙස සැලකීම නම් බරපතල වරදක්. මෙම සමාජ ක්‍රමය 100%ක් ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් වුව ද සමාජවාදී මූලධර්ම පමණක් නොව ආගම්වල ඇති උත්තරීතර මනුෂ්‍යත්ව පදනම් කරගත් ආකල්පයක් සමාජගත කර තිබෙනව.

බුද්ධාගම තම්බලා පෙවීම හෝ නීතියෙන්ම හැදිම

සිරි ලංකාව වැනි රටක් මේ මට්ටමට (ඕස්ට්‍රේලියාව වැනි) ආකල්ප අතින් දියුණු කිරීමට බුද්ධාගම තම්බලා පෙව්වත් හරියන්නේ නැතිය.ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාවෙන්ම හා රටේ නීතිරීති මගින්ද ලංකාවේ කුල ක්‍රමය අහොසි කර දැමිය යුතු බව පෙනෙනව. ඒවාගැන සදහන් කර මගුල් තුළා බැලීම ද දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් ලෙස නීතිගත කිරීම ද වැදගත්.
එපමණක් ද නොවේ ශ්‍රී ලාංකික ප්‍රජාව ලෙස නම්කරනු විනා සිංහල, මුස්ලිම් හෝ දෙමළ ලෙස බෙදා වෙන්කර දැක්වීම ද නීතිය මගින්ම වහාම තහනම් කර දැමිය යුතුවනව. නැතිනම් මේ මළ ඉලව්ව හැමදාම එකිනෙකා කා කොටා ගන්නා අපායක් ලෙසම පවතිනවා විනා දියුණු රටක් වන්නේම නැතිය.
෴සමනොළ෴👣

No comments:

Post a Comment

සයන්ස් ෆික්ෂන් "Sci Fi" හෙවත් විද්‍යා ප්‍රබන්ධ ගණයේ ලා සැලකෙන චිත්‍රපට, නවකතා, කෙටිකතා හෝ එවැනි නිර්මාණ ඔස්සේ දලුලන සිතුවිලි මානව...