Thursday 18 May 2017

ජවිපයට ගොපල්ලාගේ ජොබ් එකින් එහාට යාමට නම්

ජවිපයට ගොපල්ලාගේ ජොබ් එකින් එහාට යාමට නම්

ශ්‍රී ලංකාවේ දේශපාලන ගොහොරුව තුළ මාරුවෙන් මාරුවට මොන විනාසය කළත් කොළ-නිල් දෙපිළට දිගින් දිගටම ජනතාව චන්දෙ දෙන්නේ ඇයි? ජවිපය ප්‍රධාන ප්‍රවාහයන්ට වඩා පූර්ණ ලෙසම ජනතාධනය දේපල මංකොල්ල නොකන සහ දේශපාලනය හුදු සමාජ සේවයක් ලෙස කරන අධ්‍යාශයක් ප්‍රකට කලද, අසන අසන බොහෝ දෙනා එය ඉස් මුදුණින් අගය කළ ද චන්ද දවසේ කතිරෙ ගසන කුටීරයට ගිය පසු ආයෙත් හොරා කෑවත් අර දෙකටම කතිරෙ ගසා පැමිණෙති. මේ අතර 2020 දී රජයක් පිහිටු වන ඉලක්කයක ජවිපය සිටී. ජනතාව ද මූණිච්චාවට ජවිපයේ පැහැදිලි ප්‍රතිපත්ති ගැන මහඉහලින් වනති. එහෙත් ඇතුලතින් මහජනතාව සිය කතිරය හිතේ සැක සංකාවක් නැතිව ජවිපෙටම දීමට තරම් මට්ටමකට පැමිණ තිබේද? නැතිනම් ඊට හේතු කවරේදැයි සිතා බැලීම වැදගත්ය.

සමාජවාදීගතිය අඩු වී ප්‍රජාතන්ත්‍රවාදයට නැඹුරුවීම?

ජවිපය එජාපය සමග ඩීල් දමනවා යැයිද ඒ නිසාම එයට දිනිය නොහැකි වන බවට ශ්‍රී ලනිපය මෙන්ම ජවිපෙන් කැඩුණු අන්ත-සමාජවාදී කොටස් කියති. ලංකාවේ සමස්ත චන්ද හා සසඳා බැලූ විට එකී අදහස නිසා ජවිපයට චන්දය නොලැබීයාමක් වන්නේ නම් එය නොසැලකිය හැකි තරම් කුඩා බව පෙනේ. මක්නිසාද යත් එවැනි මතයක් හදමින් ඒ බව කියමින් සිටින කොටස කොහොමටත් දැනටත් ජවිපයට චන්දය නොදෙන නිසාය.
අන්තවාදී සමාජවාදී හීනයක සිරවී සිටින අතලොස්සකට එය එසේ වීමට හැකි වුවත්, රටේ බහුතරය මුලු රටම 100% සමාජවාදී ක්‍රමයකට හරවනවාට කොහෙත්ම කැමති නැත. ජවිපේ හෝ සමාජවාදය ප්‍රියකරන කවුරු කවුරුත් මේ තිත්ත ඇත්ත අකමැත්තෙන් හෝ වටහා ගත යුතුව ඇත. අනෙක් අතට ප්‍රජාතන්ත්‍රවාදී හෝ සමාජවාදී දේශපාලන ක්‍රමයන් රටක මහජනයාගේ සුබ සෙත පිණිස මෙවලමක් ලෙස විනා, සමාජවාදය සමාජවාදයේ උන්නතිය සඳහාවත්, ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රජාතන්ත්‍රවාදයේ උනනතිය සඳහාවත් නොවන බව අවබෝධ කර ගත යුතුය.
එනම් ජවිපයේ සමාජවාදී ගතිය අඩු වීම හෝ ජවිපය ප්‍රජාතන්ත්‍රවාදයට ද නැඹුරුවීම, ජවිපය කෙරෙහි මිනිසුන්ගේ ප්‍රසාදය වැඩි වීමකට මිස අඩුවීමකට බලපා නොමැති බව පෙනේ.

සමාජගත වුණු ත්‍රාසය හා වෛරය

එහෙත් ජවිපයට මිනිසුන්ගේ සමොද්ග්‍රහණය හිතන තරම් නොලැබීමට හේතුව වෙනකක් බව ගැඹුරින් සිතා බලන කළ පෙනේ. දැනට ජවිපය අතිශය ආදර්ශමත් ප්‍රතිපත්තිගරුක උස්තලයක හිටිය ද ජවිපේ පෙර දේශපාලනභාවිතාවන් නිසා ආණ්ඩුවේ මර්ධනය නිසාත්, ජවිපයේ මර්ධනය නිසාත් දහස් ගණනක් ලාංකිකයින් ජීවිවලින් වන්දි ගෙවීමත්, රට තුළ ඇති වූ බියජනක වටපිටාව මගින් සමාජ ගතවී ඇති ත්‍රාසය හා වෛරයන් සමාජය තුළ ඇතිතරම් ඇති බව වටහා ගතයුතුය.

සමාජ-ප්‍රජාතන්තුවාදීන් හොඳ හිත බෙදාදීම

සමාජ- ප්‍රජාතන්ත්‍රවාදීන් ලෙස ප්‍රජාතන්ත්‍රික රාමුව තුළ අනන්‍ය ගැඹුරු දේශපාලනික ගුණාං පෙන්වන ජවිපය, දැනටත් වඩා පුලුල් මානව වාදී භාවිතාවකට අවතීර්ණ වීය යුතුව තිබේ. උදාහරණයක් ලෙස විරු සමරුවේදී සිය අහිමි වූ සගයන් වෙනුවෙන් දක්වන ප්‍රාමාණික සැලකිල්ල, ජවිපය අතින් අසාධාරණයට ලක් වූ මිනිසුන්ටද ලබා දීමට තරම් ප්‍රබල විය යුතුය. මක්නිසාද ඔවුහු ජවිපයට වඩා අන් මතයක් දරුව ද. ජවිපේ දේශපාලන අධ්‍යාශ තුළින් අගතියට පත් වුනු කොටසක් බව ද සිතිය යුතුය. මෙහිදී ප්‍රා, කොළ කොටි, හෝ වෙනත් එවැනි කල්ලියක සෘජු මිනීමරුවන් නොවුනු ජවිපය අතින් මියගිය ගමේ නගරයේ අහිංසක මිනිසුන් ගැනවත් සිතිය යුතුය. ඔවුනගෙන් සමාව ගැනීමේ දිගුකාලීන මනුසත් වැඩ සටහනක් ද ඇරඹීම කළ යුතු වන්නේය.
එවැනි සමායෝජනයක් හොඳහිත වගාකර ආදර බෙදාදී, ජනතා ව්‍යාපාරයක් ලෙස ඔවුනගේ දුක සැප ක්‍රොධය පිටකර ඉවසා දරාසිටීමේ පුබල හැකියාවක් ගොඩ නගා ගැනීම තරම් ජවිපයට ආත්ම ශක්තිය තිබේ.

ඔහොම කරල බලේ අරන් කෙළියි ද? සැක දුරු කිරීම

එසේම, ජවිපය මොන යහපත් දේ ඉදිරිපත් කළ ඳ, මොන දේ ආදර්ශයෙන් කර පෙන් වුව ද, මිනිසුන් හිතන්නේ ඔහොම කරල බලේ අරන්, ඒ අය සමාජවාදී රටක් කොට එකෙකුටවත් කටක් අරින්න නොදී කියුබාව හෝ උතුරු කොරියව හෝ ලෙස එකම පාලකයා තමන් කැමති වුනත් නැතත් බලහත්කාරයෙන් රට අල්ලා ගෙන සිටීවි කියාය. එයින්ද ගම්‍ය වන්නේ මිනිසුන්ට මොන දේ ලැබුණත්, සිය ප්‍රජාතන්තුවාදය නිදහස නැතිවී එක්තරා ඒකාධිපතියකු යටතේ කට්ට කෑමට සිදුවන වායැයි වන බියකි. ඊට පිළිතුරු ලෙස දැන් පවතින රජයන් තුළ ඊට වඩා වෙනසක් නැති බව කීව ද වසර පහ හයකට වතාවක් ආණ්ඩු පෙරළීමේ හැකියාවක් ජනතාව සතුව ඇත. ඒ අනුව ජවිපය යම් දිනක බලය ලබා ගත් පසු පවතින ප්‍රජාතන්ත්‍ර රාමුව චන්ද ක්‍රම අකුළා නොදමා සමාජ පද්ධති සිස්ටම් මීට වඩා දියුණු කරන බව පමණක් සිදුකරන බවට අදහසක් ජනතාවට ඇති කළ යුතුය.
එසේ නොවනතාක් තව කොපමණ කළක් ගත වුව ද ජනතාව ජවිපයට පවතින ආණ්ඩු වල ගොනා කාණුවේ යන විට, කෙවිටෙන් තලා නිසි මගට දක්කන ගොපල්ලාගේ ජොබ් එකට එහා දෙයක් බාර දේවියැයි සිතීම අපහසුය.
෴සමනොළ෴

No comments:

Post a Comment

සයන්ස් ෆික්ෂන් "Sci Fi" හෙවත් විද්‍යා ප්‍රබන්ධ ගණයේ ලා සැලකෙන චිත්‍රපට, නවකතා, කෙටිකතා හෝ එවැනි නිර්මාණ ඔස්සේ දලුලන සිතුවිලි මානව...