Thursday 18 May 2017

අපි රැඩිකල් වෙලා කියල අපිට හිතෙනවා බුදුහාමුදුරුවනේ....

අපි රැඩිකල් වෙලා කියල අපිට හිතෙනවා බුදුහාමුදුරුවනේ....


හොඳ -නරක, පින- පව, යහපත- අයහපත, ගැන සමාජ වටිනාකම් අදසමාජයේ උඩුයටිකුරුවෙලා තියෙන බව එකත්පස්ව සිට කල්පනා කළ විට පෙනෙන්න ගන්නවා.

ඇයි සමාජ විටිනාකම් උඩුයටිකුරු වන්නේ?

ඊට හේතු හොයන විට අධ්‍යාපනය මගින් දැනුම ලබා ගැනිීම හා භාවිතාව පිළිබඳ නිසි කුසලතාව සමාජයේ මිනිසුන් තුළ ඇති වී නොතිබීම යන කාරණාව ප්‍රබලව හමුවන හේතුවක්. මොනතරම් දියුණු සන්නිවේදන අධ්‍යාපන ක්‍රම තිබුණත් සමාජසංතාව දෘෂ්ටිගත වෙන්නෙ ආයෙමත් ගල්යුගේ මූලික මානව අවශ්‍යතා තමන්ට පමණක් ලබා ගැනීමේ පටු ආකල්ප යටතේ දැයි හිතෙනවා.
එක්කෝ මිනිසුන් කිසියම් දෙයක් පිළිබඳඉගෙන ගෙන එය විශ්වාස කරන්න ගන්නවා. එතකොට අනිත් හැම දේම අවිශ්වාසයි අරකට සාපේක්ෂව. ආගම ධර්මය මෙන්ම දේශපාලන දෘෂ්ටි පවා මීට අයත්වනවා.

මිනිසා මිනිසකු ලෙස ජීවත්වීමට තිබූ හුරුව නැති කළ සේක?

එහෙත් සරල සීමිත අවශ්‍යතා මගින් ජීවත් වෙමින් මිනිසකු ලෙස වඩා මානවහිතවාදීව කල්පනා කිරීමටත්, තමන්ගේ මානව අවශ්‍යතාවන් අනුන් හා බෙදාහදාගෙන ජීවත්වීමටත්, ඉන් වින්දනයක් ලැබීමටත් අවසන ආත්මීය වශයෙන් උසස් බවක් ලඟාකරගැනීමත් යන කාරණා තෘප්තකරගන්නේ කෙසේද යන්න අපසමාජයට හොඳ අදහසක් තිබුණා. එහෙත් එය අදවන විට එකීකාරණාවන්ට සමාජයේ ලබා දී ඇති වටිනාකම් උඩුයටිකුරු වෙලා. අනිකගෙ බෙල්ල කපල හරි තමන් ජීවත්වීමටයි හිතන්නෙ. බොහොම ගැඹුරු මානුෂවාදයක් මගින් සමාජයේ කුළමළ ජාති ආගම් භේද දියකර උත්තම සමානාත්මතාවක් තනන බුද්ධ දර්ශනය සමහර චීවරධාරීන් විසින් බුදුන් වටිනාකමක් නුදුන් දේ ඉතා උසස් කොට සලකා වල්ගෙ පාගන් ඉන්නවා.

ජාතිය, ආගම, කූළය, ධනය, ගර්හිතවිද්‍යා සරණං ගච්ඡාමි

ජාතිය ආගම කුළය කේන්දර හදිහූනියම් වැනි ගර්හිත විද්‍යාවන් යන බුදුන් පිටු දැකි නිශේධනය කළ යුතු වටිනාකම් මේ කස්ටිය බුදුබණ සමග යහමෙට වනනවා. එවැනි සමාජ අවගමණයට හේතුවන වටිනාකම් නග්ගල ගන්න බුදුන්වත් සාක්කියට ගන්නවා. යකෝ තොපි කරන කෙහෙම්මල වැරදියි කියන්න බුදුන් ජීවත්ව නැතිවීමත්, අර අය දණගසා බුදුන් වැද පංසිල් සමාදන් වී එය කිරීමත් නිසා සමාජය තුළ මෙන්න මේක තමයි ධර්මය කියලා සාදුකාර දෙදී ඒක අනුගමනය කරන මිනිසුන් බිහි වෙනවා.

විකල්ප දෘෂ්ටි මාරාව හා සමාජය මානව වාදී කිරීම

එසේ නෙවන අනෙක් කොටස එක්කෝ තමන්ගේ වෙනත් දෘෂ්ටීන් (ආගමික හෝ දෙශපාලනික) අනුව අර සමස්ත ආගමෙ හොඳ කොටසත් සමග සියල්ල ගෙඩියපිටින් ප්‍රතික්ෂේප කරමින් හද්ද රැඩිකල් වෙනවා. ඒ අයත් ඒ තමන් අදහන දෘෂ්ටියේ වහලුන්ම වෙනවා මිස නිර්මාණශීලීව මානව වාදී ලෙස සමාජය ඥානාන්විතය ගෙඩ ගැනීමට කල්පනා කරනවා අඩුයි. අන්න එවැනි කතිකාවක් ගෙඩ නගා ගැනීමට මෙවැනි කාරණා ගැන කතා කිරීම අතිශය වැදගත්..

෴සමනොළ෴

No comments:

Post a Comment

සයන්ස් ෆික්ෂන් "Sci Fi" හෙවත් විද්‍යා ප්‍රබන්ධ ගණයේ ලා සැලකෙන චිත්‍රපට, නවකතා, කෙටිකතා හෝ එවැනි නිර්මාණ ඔස්සේ දලුලන සිතුවිලි මානව...