Thursday 18 May 2017

එයා දැන් ධනපතියෙකි.

එයා දැන් ධනපතියෙකි.


ධනපතියෝ භංග වේවා යනුවෙන් කොමියුනිස්ට් කාරයෝ මොරදුන්නේ දශක ගණනාවකට පෙර සිටය. ඇති නැති පරතරය, දුප්පත්කම,ධනපතියන් විසින් පීඩිතයන් හූරා කෑම ආදී කාරණා මගින් දුප්පතුන් ද ඇති එකාගේ ධනය මංකොල්ල කා හෝ තමන් හැදීම මිස වැඩක් කර රටක් ලෙස සමස්තය දියුණු වීම ගැන හිතුවේ නැතිය.

ප්‍රජාතන්ත්‍රවාදයේ අගඵලයක් වූ තොරතුරු දැනගැනීමේ පණත

එහෙත් අදවන විට ලංකාවේ එකී කොමියුනිස්ට්කාරයින් තුළ තිබූ සෘණාත්මක සිතුවිලි කණපිටහරවන්නට සමත්වී තිබේ. ලංකාවේ ධනපති පක්ෂ ලෙස හැදින්වෙන එජාප ශ්‍රීලනිප යන පක්ෂ අභිබවා ලංකාවේ ධනවත්ම පක්ෂය බවට ජවිපය පත් වී තිබේ. නව රජයේ අනුමත වූ තොරතුරු දැනගැනීමේ පනතට අනුව මේ අලුත් ධනවන්තයා ගැන දැනගැන්නට ලැබීම අගනේය.

ධනපතියන් අතර ධනපතියා

මෙකී කාරණාව විවිධ පැතිකඩ ඔස්සේ විවරණය කරගත හැක. ජවිපෙට එරෙහි සකළ විරුද්ධකාරයන්ට අනුව මෙය වනාහී තම ධනපති පක්ෂවලටවත් නොවූ තරමේ අවැඩකි. ජවිපය විසින් සිය දුප්පත් පක්ෂ ද මංකොල්ලකාගෙන ධනය උපයාගෙන ධනපතියකු වී තිබේ යන්නය. තවත් වෙනත් කෝණයකින් බලන විට හිගන්නාගේ සිස්ටම් එකට දුප්පත්කම නැතිබැරිකම අගහිගකම කියමින් හිඟාගත් ධනය පොදිගසාගත් අපූරු ධනපතියෙකි.

ධනවතෙක් වුනේ කොහොමද?යන්නය වැදගත්

එහෙත් පවතින්නාවූ ප්‍රජාතන්ත්‍රවාදී ධනවාදී ආර්ථික න්‍යායන්ට අනුව ජවිපේ ධනවත්බව වනාහී ඉතා අරපිරිමැස්මෙන් හා මනා මූල්‍යවිනයකින් යුතුව ජවිපේ සාමාජිකයන්ගේ සිට ඉහල දේශපාලන ක්‍රියාධරයින් දක්වා වූ බහුතරයේ අසීමිත කැපකිරීමේ හා තමන්ගේ පෞද්ගලිකත්වය පසෙක ලා පොදු අරමුණ වෙනුවෙන් අප්‍රතිහතව කැප වීමේ ප්‍රතිඵලයක්ය.

ධනවාදී කියූ උන් ධනවාදීද? පාදඩ වාදීද?

දැන්මෙහිදී පැන නගින අනෙක් ගැටලුව වන්නේ එතකොට ධනපතිපක්ෂ ලෙස නම්දරා සිටි අනෙක් පක්ෂ සැබවින්ම ධනවාදී හෝ ප්‍රජාතන්ත්‍රවාදී ද? යන්නය. ධනපති ලෙස බෝඩ් ලෑල්ල තිබුණාට එකී පක්ෂ රටේ ජනතාව මෙන් අන්ත දිලිඳුය. එහෙත් පක්ෂය වෙනුවෙන් බලය ලබාගෙන රට දියුණු කරන්නට ඒ ඒ පක්ෂවලින් ආ උදවිය බිලියන පතියෝය. එකී පක්ෂවල පක්ෂයක් ලෙස එක අරමුණකින් සිය පක්ෂය වෙනුවෙන් කැපවී නැත. ඒ අය පක්ෂයේ මුදලත් පොදු ජනයාගේ යහපත උදෙසා කැපකර දුප්පත් වී නම් කමක් නැත.එහෙත් වී ඇත්තේ සමහරු පක්ෂයේ මුදලද කොල්ලකාගෙන තිබීමය. ඒ අනුව එවන් පක්ෂ, ධනවාදී පක්ෂ ලෙස හදුන්වනවාට වඩා පාදඩ පක්ෂ ලෙස හෝ පක්ෂගාත ලෙස හැදින්වීම උචිතය.

දැන් ඉතින් හිඟන්නගේ සිස්ටම් එක බැරිය

කෙසේවෙතත් දැන් තවදුරටත් කැට හොල්ලමින් ජවිපයට මුදල් එකතු කිරීමේ කටයුත්තට මේ අනුව යම් බාධාවක් මතු වේ. එහෙත් සවිමත් මූල්‍ය අත්තිවාරමක් දමා ගැනීමට පක්ෂයක් ලෙස ඔවුන් අනුගමනය කළ තියරිය රටේ අන්පක්ෂ වලට පමණක් නොව සමස්ත ජනතාවද අනුගමනය කිරීම අගනේය. තමන් හරිහම්බකරන ධනය අවභාවිතා නොකර පරෙස්සමින් එක්රැස්කර ගැනීමේ මූල්‍ය විනයය.

ගොඩ නැගෙන ලාංකේය නව දේශපාලන කතිකාව

සමාජවාදී පක්ෂයක් මෙසේ කිරීම සාරධර්මයට පටහැණිබව මතුකරන පාදඩයින්ගේ හිත නිවන කතාවන්ට අමතරව මෙමගින් මතුවන ලාංකේය නව දේශපාලන කතිකාව අගනේය.
1. තමපක්ෂයේ ධනය පවා මංකොල්ලකා කාබාසිනියා කරනපාදඩයින්ට රටේ මහාභාණ්ඩාගාරය භාරදීම වෙනුවට සියපක්ෂය ධනවත්ම පක්ෂය බවට පත්කළ ජවිපේ අයට රටේ මහාභාණ්ඩාගාරය භාරදීම අතිශයින්ම සුදුසුය යන්න.
2. ධනවාදී, සමාජවාදී, ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය මතවාද කවරක් වුවත් පවතින ඕනෑම ක්‍රමයක් යටතේ ප්‍රබල මූල්‍ය විනය අප්‍රතිහත ධෛර්ය හා කැපවීම මත සංවිධානයක් සේම සමස්ත රටම වුව ද ගොඩ නැගීමේ හැකියාව ජවිපය සතුව ඇති බව
3. ධනවත්භාවය හෙවත් ධනපතියා යන්න අතේ සල්ලිය ඇති එකා හැදින්වීමට යොදාගත් යෙදුම තවදුරටත් වලංගු නොවන බව පසක් කරගැනීමට.. එනම් මූල්‍ය විනය, කළමනාකරණය, ටීම් වර්ක් හෙවත් කණ්ඩායම් හැගීමෙන් අරමුණ කරා කැපවීම, යන ගුණ ධර්ම අතින් ද පොහොසතා ධනපතියාය යන්නය.
4. ඒ අනුව ලංකාවේ නව ධනපතියා විසින් රටම ධනපතියන් කොට පුරවැසියන් අතේ මිටේ කීයක්හෝ ඇති අය මෙන්ම අරකී ගුණාංගවලින්ද ධනවතුන් කරවීම සඳහා මිනිසුන්ට නව බලාපොරොත්තුවක් ඇතිවීම වලකනු නොහැකිය. 

෴සමනොළ෴

No comments:

Post a Comment

සයන්ස් ෆික්ෂන් "Sci Fi" හෙවත් විද්‍යා ප්‍රබන්ධ ගණයේ ලා සැලකෙන චිත්‍රපට, නවකතා, කෙටිකතා හෝ එවැනි නිර්මාණ ඔස්සේ දලුලන සිතුවිලි මානව...