Thursday 18 May 2017

වෙසඟේ ගැඹුරු හරයන් ස්පර්ශ කිරීම


දන්සැල් තොරන කැරොල් නැටුම් ගැයුම් වලින් බුදුන්ගේ බර්ත්ඩේ එක ජයට සැමරීම ලාංකේය සංස්කෘතිය වී තිබේ. රටක ජනතාවකට සංස්කෘතියක් අවශ්‍ය නිසා එහි සැලකිය යුතු වරදක් නොපෙනේ. එහෙත් මොලේ ඇති නිදහස්ව හිතිය හැකි මිනිසුන් ආගම් භේදයෙන් තොරව ආගමික කඩතුරාවෙන් ඔබ්බෙහි වූ බුදුන්ගේ දාර්ශනික චින්තාව ස්පර්ශ කිරීමට උත්සුකවීම වැදගත්වේ.

බුද්ධ දර්ශනය බෞද්ධයන්ට නොව හිතන මිනිසුන්ටය

බුදුන් සිය දර්ශනය දේශනාකලේ බෞද්ධයන්ට නොවේය. හිතන්නට හැකි බුද්ධියක් ඇති සකළ දේශවාසී ජීවීන්ටය. එහි ඇත්තේ විද්‍යාවකිය. නවීන විද්‍යාව බුද්ධ දර්ශනයේ යම් යම් කාරණා හා සමපාත වේ. සමහර කරුණු ගැන නවීන විද්‍යාවේ විවාද ඇත.
කෙසේවෙතත් ලොව පවතින සියලු දේ ආපෝ(ද්‍රව), තේජෝ(උෂ්ණත්වය), වායෝ(වායු), පඨවි (ඝන) යන මහාභූතරූප හෙවත් පදාර්ථයෙන් තැනී ඇති බවත් ඒ සියල්ල අතිශය සියුම් අංශුමය ස්වරූපයන්ගෙන් සැදුම්ලත් බව නවීන විද්‍යාවට පෙර සිට බුද්ධ දර්ශනයේ එන ඉගැන්වීමකිය. ඒවායේ එකී සියුම් අංශු අතිශය කුඩා කාලයක් තුළදී වෙනස්වීමට (අනිත්‍යයට) බදුන්වීමත්, ඒම වෙනස්වීම නිසා පවතින ස්වරූපය බිඳීයාම නිසා දුක හටගන්නා බවත් මෙකී සංසිද්ධිය කිසිවෙකුටවත් (අඩුම තරමේ බුදුන්ටවත්) වෙනස් කළ නොහැකි තමාගේ පාලනයෙන් පරිබාහිරව පවතින බව හෙවත් අනාත්මය යන බවත් ඉගැන්වේ.

ලෝකය අයිතිකර ගත හැකිද?

මේ කාරණාවෙන් පසක්වන්නේ කුමක්ද? ලෝකය හා තමා ලෙස අපට සංජානනය වන සෑම දෙයක්, සබඳතාවක් සංසිද්ධියක්ම මෙම අනිත්‍ය,දුක්ඛ හා අනාත්ම යන කාරණාවන්ට බදුන්වේ. ලොව කිසිවක් සදාතනික නොවේ. වෙනස්වේ. අපට අයිතිකරගන්නට හැදීම නිෂ්පල කටයුත්තකිය.
එහෙත් සත්ත්වයින් ලෝකය අයිතිකරගන්නට වළි කති. එහි ප්‍රතිපලය ලෙස සංසාරය, නැවත සුගතියෙහි හෝ දුගතියෙහි උත්පත්තියට මුල්වන බව ඉගැන්වේ. ඒවා ඔප්පු කිරීමට නවීන විද්‍යාවේ උපකරණ හෝ ක්‍රමවේද තවම දියුණු වී නැතත් සියල්ල බොරු යැයි හිතනවාට වඩා ඒ ගැන දාර්ශනික ලෙස විමසීම වටී.

සසරේ විභවය හෙවත් ගාමක බලය

මැරෙන මිනිසුන් සියල්ල බදාගැනීම, ගහමරා ගැනීම, වෛරයෙන් හා ද්වේශයෙන් දුගතිය කරා යනු වෙනුවට පින්කර සුගතිගාමී වී නැවත ද සසරේ ගමන් කිරීම ද යනකාරණා සමාන්තර පීලි දෙකක ගමන්කරයි. ඒ නිසා සියලු දුක නැති කිරීමට නම් ඉපදීම නැතිකිරීම යන ගැඹුරු කරුණ වැදගත්වේ. එහිදී ඉපදීම නැතිකිරීම වනාහී වඳභාවය හෝ උපත්පාලන භාවිතාකිරීම නොවේ. ඔබ විසින් මෙතෙක් ගෙනආ සංසාරයේ ඉදිරියට ඉපිදෙමින් ගමන් කරන විභවය හෙවත් ගාමක බලය අහෝසිකරගැන්මය.
මෙය කළ හැක්කේ අත්හැරීම යන සංකල්පය ප්‍රගුණ කිරීමෙනිය. ඔබගේ සිරුුර හා සකළ ලෝකය ලෙස සම්මුතිකව දකින දෙය පරමාර්තලෙස අංශුමය ලෙස අනිත්‍ය දුක්ඛ අනාත්ම යන කාරණාවන්ට බදුන්වන බව අවබෝධකර අල්ලාගත් ග්‍රහණ හිතින් අතහැර හිත සැහැල්ලුකරගැනීමේ අවසාන ප්‍රතිපලය ලෙස නිදහස ඔබට ලැබේ.

දන්සැලෙන් විදර්ශනාවට

ඔබ දානයක් දී සසරේ ඉදිරියේ වැජඹීමට ගාමක ශක්තියක් අපේක්ෂා කළ හැක. එහෙත් එකී දානය දී අත්හැරීම ප්‍රගුණ කිරීම වූකලි දුකින් නිදහස ලැබීමේ ගැඹුරු වෑයමයි. විදර්ශනාව ප්‍රගුණ කිරීම යනු එයයි.
මේ වෙසඟේ ඔබට ගැඹුරු බුද්ධ දර්ශනය ස්පර්ශ කර සැහැල්ලු වන්නට සිත්වේවා!
෴සමනොළ෴

No comments:

Post a Comment

සයන්ස් ෆික්ෂන් "Sci Fi" හෙවත් විද්‍යා ප්‍රබන්ධ ගණයේ ලා සැලකෙන චිත්‍රපට, නවකතා, කෙටිකතා හෝ එවැනි නිර්මාණ ඔස්සේ දලුලන සිතුවිලි මානව...